
මහියංගණ රජමහා විහාරයෙන් සොරාගන්නා ලද පෞරාණික වටිනාකමකින් යුත් සමාධි බුදු පිළිමයක් මහනුවර ප්‍රදේශයේදී අලෙවි කිරීමට උත්සාහ කළ පිරිසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ. මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කුරුණෑගල ප්‍රදේශයේ හිමිනමක්, යුද හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු සිටින අතර, ඔවුන් සියලු දෙනා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කර ඇත.
පසුගිය 2025 වසරේ ඔක්තෝබර් මස 23 වන දින මහියංගණ රාජ මහා විහාරස්ථානයෙන් මෙම බුදු පිළිමය සොරාගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. අනතුරුව මැයි මස 14 වන දින එය මහනුවර නගරයට රැගෙනවිත් ඇති අතර, එහිදී මෝටර් රථයක් තුළ පිළිමය සඟවා තබාගෙන එහි ඇතැම් කොටස් කපා ඉවත් කර ලෝහමය පරීක්ෂාවකට පවා යොමු කර අදාළ වාර්තා ලබාගෙන ඇති බව සඳහන් වේ. මෙම ක්‍රියාවලිය සඳහා බදුල්ල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරීන් දෙදෙනා සෘජුවම සම්බන්ධ වී ඇති අතර, ඔවුන් පැමිණි මෝටර් රථයද මහනුවර කුමාර වීදියේ නවතා තිබියදී පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම පිළිමය ප්‍රවාහනය කිරීම නීත්‍යානුකූල බව පෙන්වීම සඳහා සැකකරුවන් විසින් කූට උපක්‍රමයක්ද භාවිත කර ඇත. එළඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් බැතිමතුන්ට වන්දනාමාන කිරීම උදෙසා පිළිමය ඔප දමා පිරිසිදු කිරීමට මහනුවරට රැගෙන යන බවට සඳහන් කරමින් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් විසින් සකස් කළ ව්‍යාජ ලිපියක් මොවුන් සතුව තිබී හමු වී තිබේ. එම ලිපිය ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසිය අදාළ හිමිනම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වෙනත් පාර්ශ්වයක් විසින් මෙම පිළිමය උන්වහන්සේට ලබා දුන් බවයි. ඒ අනුව ඊට සහාය දැක්වූ වේවැල්දෙනිය මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද පොලිස් අත්අඩංගුවට පත්විය.
මෙම සොරකම් කරන ලද පිළිම වහන්සේ වෙනුවෙන් මහියංගණ විහාරස්ථානය සතුව නිල පුරාවිද්‍යා සහතිකයක්ද පවතින බව පොලිසිය පෙන්වා දෙයි. ඒ අනුව 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරණ නව සංශෝධන පනත ප්‍රකාරව පුරාවස්තුවලට හානි කිරීම සහ පෞරාණික දේපළක් සොරාගෙන අලෙවි කිරීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබේ. මහනුවර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රශික සම්පත් පතිරණ මහතාට ලද තොරතුරකට අනුව, ඔහුගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.යූ.කේ. ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් සැරයන්වරුන් වන ඉන්දික (32870), කනක (40869) සහ පොලිස් කොස්තාපල්වරුන් වන මදුසංක (69856) හා කනිෂ්ක (87865) යන නිලධාරීන් කණ්ඩායම විසින් මෙම වැටලීම සිදු කර ඇත.

