
මැදගම පොලිස් වසමට අයත් ගොඩිගමුව මුස්ලිම් ගම්මානයේ පදිංචිව සිටි හතළිස් හැවිරිදි රිනොෂා උම්මා නැමැති සිව්දරු මවක ඊයේ (07) අලුයම ඝාතනයට ලක්වී තිබේ. සිය සැමියා විසින් ඇගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තැබීමෙන් පසුව බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
පවුලේ සාමාජිකයන් සමගින් රාත්‍රී ආහාරය ගැනීමෙන් අනතුරුව මෙම යුවළ එක කාමරයකත් දරුවන් වෙනත් කාමරයකත් නින්දට ගොස් තිබේ. අනතුරුව අලුයම් කාලයේදී මව සහ පියා නිදා සිටි කාමරය තුළින් ගින්නක් හටගන්නා බව දුටු දරුවන් වහා ක්‍රියාත්මක වී දොර විවෘත කර බලා ඇත. එහිදී සිය මව ගින්නට මැදිවී දැවෙමින් සිටින අයුරු දුටු ඔවුහු දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න නිවා දමා ඇයව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා සිටි එම කාන්තාව රෝහල්ගත කිරීමෙන් පසු මෙලෙස මරණයට පත්වී ඇත.
මෙම ඛේදවාචකයට ප්‍රධාන සැකකරු වන මියගිය කාන්තාවගේ සැමියා මේ වන විටත් ප්‍රදේශය අතහැර පලාගොස් සැඟවී සිටින බව පොලීසිය සඳහන් කරයි. කුකුළු මස් අලෙවිසැලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු වන මොහු සහ බිරිඳ අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුවන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළකරයි.
සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) දිනයේදී බිබිල මූලික රෝහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. පලාගොස් සිටින සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මේ වන විටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ.
