ලෝකයේ සොයාගෙන තියෙන විශාලතම පද්මාකාර චෛත්‍යය ලංකාවේ කුරුන්දියේ.

lankaSFnews
0
kurundi-pagoda-padmakara

 ‘කුරුන්දිය’ ගැටලු උල්පතකි. අලුත්ම ගැටලුව කුරුන්දි පිළිම ගෙයයි. උතුරේ අන්තවාදී පිරිස් කුරුන්දි පිළිම ගෙය පැරණි කෝවිලක් ලෙස හැඳින්වීමට වෑයම් කරන බව ද පෙනේ. එමෙන්ම පිළිම ගෙයි පුරාවිද්‍යා කැණීම් අවසාන වී මේ වනවිට වසර හතරකට වැඩිය. එහෙත් පිළිම ගෙයි සංරක්‍ෂණ කටයුතු ආරම්භ කෙරෙන සේයාවක් හෝ නැත. කැණීමෙන් මතු කරගෙන ඇති ප්‍රතිමා ගෘහය, වල් වැදෙන අයුරු පෙනේ. ප්‍රකාර බැමි කඩා වැටී තිබේ. පිළිම ගෙය පුරා මහ ගස් වැඩෙන අයුරු ඇස ගැටෙනවිට හදවත කීරි ගැසිණි. මිල කළ නොහැකි පුරාවිද්‍යා උරුමයක් මේ වනවිට ද විනාශ වී හමාරය. ගල් පඩියක් මත හිඳගෙන මහා විනාශය දකිමින් සිටිනවිට මගේ දෑස් උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවෝ දෙසට යොමු විය.


“පිළිම ගෙය සංරක්‍ෂණ කටයුතුවලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් තවම අවසර දීලා නෑ. පැවැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් වගේම මේ ආණ්ඩුවෙනුත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිචාරයක් තිබුණෙ නෑ. ඒත් පහුගිය දිනක සංස්කෘතික කටයුතු අමාත්‍ය සුනිල් සෙනෙවි මහත්තයා සමග මේ ගැන සාකච්ඡා කළා. කුරුන්දි විහාරයේ දැනට පවතින ගැටලු නිරාකරණය කර, සංරක්‍ෂණ කටයුතු ඉදිරියට කරගෙන යන බවට අමාත්‍යවරයා පොරොන්දු වුණා. ඇමැතිවරයාගේ ප්‍රතිචාරය අපිට ලොකු ශක්තියක්…” ශාන්තබෝධි හාමුදුරුවන්ගේ කතාවට මම බාධා කරමින් පැනයක් යොමු කළෙමි.

උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ ශාන්තබෝධි හිමි


කුරුන්දි පිළිම ගෙය පැරණි කෝවිලක් කියනවා නේද?


“ඔව්… එහෙම කියන්නෙ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම්වරයා. බෞද්ධ පුරාණ ප්‍රතිමා ගෘහය පැරණි හින්දු කෝවිලක්, ප්‍රතිසංස්කරණයට අවසර දෙන්න කියලා ප්‍රාදේශීය ලේකම්වරයා ලියුමක් ගහලත් තිබුණා. වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර කුරුන්දි පුරාවිද්‍යා භූමියේ බෞද්ධ උරුමය සම්බන්ධ සවිස්තරාත්මක ලිපියක් ප්‍රාදේශීය ලේකම්වරයාට යොමු කරලා තිබුණා. ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලියුමෙන් දැන් ඇති ඵලක් නෑ. ඒත් කුරුන්දි ප්‍රශ්නය ඉවර නෑ. කුරුන්දිය සම්බන්ධයෙන් තවමත් නඩු කිහිපයක් අධිකරණයේ විභාග වෙමින් තියෙනවා…” ශාන්තබෝධි හාමුදුරුවන්ගේ දේශනය තවම අවසාන නැත.


මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කුමනමුනෙයි ග්‍රාම සේවා වසමේ තන්නිමුරුප්පු ප්‍රදේශයේ නාගචෝල රක්ෂිතය තුළ පිහිටි කුරුන්දි පුරාවිද්‍යා භූමිය ප්‍රථමවරට කරවා ඇත්තේ ක්‍රි. පූ. පළමුවන සියවසේ බව මහා වංශයේ සඳහන් වේ. එය ඛල්ලාටනාග රජු විසින් (ක්‍රි. පූ. 104 – 110) ආරම්භ කර ඇති බව ද මහා වංශයේ සඳහන්ය. සද්ධම්ම සංග්‍රහය නම් කෘත්‍රියේ දැක්වෙන පරිදි ‘කුරුන්දි අටුවාව’ ලක්දිව කුරුන්දවේලු නම් විහාරයේ දී රචනා කරන ලද්දකි. එබැවින් කුරුන්දි විහාරය ලක්දිව මුලින්ම ආරම්භ කර ඇති විහාරයක් යැයි සිතිය හැකිය. ප්‍රථමයෙන් මහා විහාරයට අයත්ව තිබූ කුරුන්දි විහාරයේ අභයගිරිය හා ජේතවන නිකායවලට අයත් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි බව ද ඉතිහාසයේ සඳහන් ය. කුරුන්දිය අසල ඇඹුල්පස ග්‍රාමය මහ විහාරයට පිදූ පළමුවන අග්බෝ රජු කුරුන්දි විහාරය සර්ව සාංඝික කොට පූජාකොට ඇති බව ද ඉතිහාසයේ සඳහන් ය. කුරුන්දි විහාරයේ වැඩ සිටි ඵුස්සමිත්ත, දාඨාවේධක, සිව යන හිමිවරු පිළිබඳව සාහිත්‍ය මූලාශ්‍රවල ද සඳහන් වේ. එමෙන්ම හතරවන අග්ගබෝධි මහ රජුගේ සමීපතයෙක් වූ පොත්ථකුට්ඨ නම් ද්‍රවිඩියා විසින් කුරුන්දි පිල්ල පිරිවෙනේ ප්‍රාසාදයක් කරවා ඇත. රජු හදිසියේ මියගිය පසු යුවරජු සිරගත කොට හෙතෙම වසර තුනක් දෙදෙනකු යොදවා රට පාලනය කර ඇත. දහවන සියවසේ දී චෝල ආක්‍රමණයෙන් ලක්දිවට සිදු වූ මහා විනාශයෙන් පසුව පළමුවන මහා විජයබාහු රජු විසින් කුරුන්දි විහාරය යළි කරවා ඇත. පසු කාලීනව කාලිංග මාඝ නම් ආක්‍රමණිකයාගේ කඳවුරක් කුරුන්දියේ පිහිටා තිබූ අතර කුරුන්දි සිංහලයෝ එන්දුභාත්‍ර නම් ආක්‍රමණිකයාගේ පාර්ශ්වයට පක්‍ෂව ක්‍රියා කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. දඹදෙණි යුගයෙන් පසු ජන ශුන්‍යව වල් වැදුණු කුරුන්දි විහාරය ගැන ඉංග්‍රීසි සිවිල් නිලධාරීන් වූ හෙන්රි පාකර්, එච්. සී. පී. බෙල්, ජේ. පී. ලුවිස්, ආර්. එල්. බ්‍රෝහියර්, ජෝන් ස්ටීල් සහ සී. ඩබ්. නිකලස් යන අය විසින් ද වාර්තා කර ඇත.



පොළොන්නරු යුගයෙන් පසු සිංහල බෞද්ධයන්ගේ අවධානය කුරුන්දිය වෙත නැවත යොමු කරන ලද්දේ ජෝන් සිරිමන් ද සොයිසා මහතාගේ ලිපි දෙකකිනි. එම ලිපි දෙක 1957 මැයි 26 සහ ජුනි 02 වැනිදා සිළුමිණ අතිරේකවල ද පළ කර තිබිණි. එමෙන්ම දඹදෙණි යුගයෙන් පසු නටබුන් වූ කුරුන්දි වෙහෙර නැවත ඉදිකිරීමට ප්‍රථමයෙන් උත්සාහ කරන ලද්දේ අන්තර් සංස්ථා බෞද්ධ සමිති සම්මේලනයයි. ඒ 1980 දශකයේය. එවකට එම සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුයේ හිටපු අමාත්‍යවරයෙක් වූ කළුවාදේවගේ සිරිල් මැතිව් මහතාය. එහි ලේකම්වරයා වූයේ පියසේන එස්. ජයවීර මහතාය. එම දශකයේ දීම කුරුන්දියේ කැණීම් ඇරඹුණු අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක් ද එහි වැඩ විසූහ. පිඟන් සංස්ථා බෞද්ධ සංගමයට භාර වී තිබූ කුරුන්දි පූජා නගර සැලැස්මට එරෙහිව දෙමළ ජාතිවාදීන් විසින් බාධා පමුණුවා කුරුන්දි පුදබිමේ පිළිම ගේ මත අනවසර කෝවිලක් ඉදිකරන්නට යෙදිණි. කුරුඳු වෙහෙර මත ත්‍රී ශූලයක් සවි කර තිබුණු බවත් එබැවින් එම අනවසර කෝවිල සහ ත්‍රී ශූලය ඉවත් කරන ලෙස අන්තර් සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය විසින් සංස්කෘතික අමාත්‍යාවරයාට සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇත. එමෙන්ම සිරිල් මැතිව් මහතා විසින් යුනෙස්කෝ සංවිධානය ද දැනුවත් කර තිබිණි. දෙමළ ජනතාවගෙන් කුරුන්දි විහාරයට එල්ල වූ බාධක මැඬපැවැත්වීමට ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පොලිස් ස්ථානයක් ද ස්ථාපිත කරන ලදී. එහෙත් තිස් අවුරුදු දෙමළ බෙදුම්වාදී කැරැල්ල හේතුවෙන් කුරුන්දි විහාරයේ කැණීම් හා සංරක්‍ෂණ කටයුතු ඇනහිටියේය. එම කාලය තුළ කුරුන්දි පුදබිමේ හින්දු කෝවිලක් පවත්වාගෙන ගිය බවට කිසිදු සාධක හමු වී නොමැත. එහෙත් ගෞතම බුදුරාජාණන් වහන්සේ වැඩම කර ඇති බවට නම් ප්‍රදේශයේ ජනප්‍රවාද පවතින බව සැබෑය.


පුරාවිද්‍යා කැණීම් සිදුවන අයුරු


එවැනි පසුබිමක 2013 වර්ෂයේ අගෝස්තු මස 13වැනිදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථානය හඳුනාගෙන ස්මාරක ලෙස ගැසට් කර තිබේ. එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුරුන්දි විහාරය ගැන වැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා නොවේ. 2018 වර්ෂයේ දී උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවෝ මේ ස්ථානය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබිණි. එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවන් විසින් රචිත ‘උතුර, නැඟෙනහිර බෞද්ධ උරුමය’ ග්‍රන්ථයේ මේ ස්ථානය ගැන සටහන් කර තිබූ පරිච්ඡේදය කියවා බලා කුරුන්දි පුරාවිද්‍යා භූමිය ගැන පුළුල් අවබෝධකයක් ලබාගත් උන්වහන්සේ එම ස්ථානයට වැඩම කිරීමට තීරණය කර තිබිණි. ඒ අනුව එවකට වව්නියා දිස්ත්‍රික්කය භාරව සිටි පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පියතිලක බණ්ඩා, ජනක, අනුරාධ යන පුරාවිද්‍යා නිලධාරීන්ගේ උදව් උපකාර ඇතිව ශාන්තබෝධි හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායමක් කුරුන්දි විහාරය සොයාගෙන ගියහ. එම කණ්ඩායමට ඇතුළත් වීමට මා ද භාග්‍යවන්ත විය. එදා කුරුන්දි පුදබිම මහ කැලෑවකි. කබොක් සෑය පස් ගොඩකි. දකින දකින තැන විවිධ නටබුන්ය. මහා ගල් කණු නොපෙනෙන තරමට වැල් ගාල්වලින් පැටලී තිබිණි. එහෙත් මේ පුරාවිද්‍යා භූමියේ විශාල ඓතිහාසික වටිනාකමක් ඇති බව එදා අපට වැටහිණි. නැවතත් ශාන්තබෝධි හාමුදුරුවෝ කතාවට සම්බන්ධ වූහ.


පුරාවිද්‍යා කැණීම් සිදුවන අයුරු

“කුරුන්දි පුරාවිද්‍යාය භූමිය යටතට 1933 අවුරුද්දේ අක්කර 78ක් ගැසට් කරල තියෙනවා. මෑතකාලීන පුරාවිද්‍යා ගවේෂණවලින් තවත් අක්කර 230ක් එකතු කරන්න තීරණය කර, මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැනීම් කටයුතු කර, මායිම් ලකුණු කරලත් තියෙනවා. ඒත් තවම ගැසට් කරල නෑ. ඒ අනුව කුරුන්දි පුරාවිද්‍යා භූමියට අක්කර 308ක අයිතියක් තියෙනවා. කුරුන්දි පුරාවිද්‍යා භූමිය ආරාම පද්ධති දෙකක එකතුවක්. කන්ද උඩ ආරාම පද්ධතියයි. පහළ වැව අසල ආරාම පද්ධතියයි දෙකක්. ඒ වගේම කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සංරක්‍ෂණ කරල තියෙන්නෙ ලෝකයේ සොයාගෙන තියෙන විශාලතම පද්මාකාර චෛත්‍යය. විශාලතම කබොක් සෑය. මේ වෙනකොට සෑය සංරක්‍ෂණය කරලා ඉවරයි. ඒ වගේම කැණීම්වලදී හතරවෙනි උදය රජුගේ ශිලා ලේඛනය ඇතුළු ශිලා ලේඛන දෙකක් සොයාගෙන තියෙනවා. ස්ථූප කෑණීමේදී ඉපැරණි යූපගල ඇතුළුව පුරාවස්තු රාශියක්ම සොයාගෙන තියෙනවා. පිළිම ගෙයි කැණීම් තුළින් මාබල් බුද්ධ ප්‍රතිමා වහන්සේ, බෝසත් ප්‍රතිමා ඇතුළු පුරාවස්තු රාශියක්ම සොයාගෙන තිබෙනවා. එම ගවේෂණ වාර්තා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඇස් පනාපිට බෞද්ධ ඉතිහාසය ඉස්මතු වෙමින් තිබියදීත් අන්තවාදී පිරිස් කාලෙන්, කාලයට මොනවහරි විලම්භීත දොඩවනවා. මේ ස්ථානයට වැඩම කළ පළමු දවසේ ඉඳලා අන්තවාදී කණ්ඩායම් විවිධාකාරයෙන් අපිට බාධා කරනවා. මුලින්ම මේ ස්ථානයේ මුරකුටියක් සකස් කරන්න ලී දඬු රැගෙන පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් මඟ හරස් කර ලොකු ආරවුලක් ඇති කළා. ඔඩ්ඩුසුඩාන් පොලිසිය බී වාර්තාවක් යටතේ සාමය කඩවීමේ සිද්ධියක් විදිහට මුලතිව් දිසා අධිකරණයේ නඩු පැවරුවා.

පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගත් බුද්ධ ප්‍රතිමා


නීතිඥ නුවන් බැල්ලන්තුඩාව ඇතුළු නීතිඥ මහත්වරු කිහිපදෙනෙක් නොමිලේම ඒ නඩුව වෙනුවෙන් පෙනී හිටියා. කාලයක් විභාග වෙච්ච නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර කිසිදු බාධාවකින් තොරව පුරාවිද්‍යා කටයුතු කරගෙන යෑමට අධිකරණය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා. ඊට පස්සෙ කුරුන්දි චෛත්‍ය වහන්සේ තුළ සර්වඥ ධාතූන් තැන්පත් කරන්න සූදානම් වෙච්ච අවස්ථාවේ දෙමළ දේශපාලනඥයන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණ කරලා පින්කම කඩාකප්පල් කළා. අපිට විරුද්ධව මුලතිව් අධිකරණයේ නඩු දැම්මා. එම නඩුව විභාග කළ මුලතිව් මහෙස්ත්‍රාවරයා කුරුන්දි පුරාවිද්‍යා භූමියේ සියලුම අලුත් ඉදිකිරීම් ඉවත් කරන ලෙසට මුලතිව් පොලිසියට නියෝග කළා. පස්සේ එම නඩු තීන්දුව නැවත වෙනස් කරලා පුරාවිද්‍යා සංරක්‍ෂණ කටයුතු කරගෙන යෑමට අවසර දුන්නා…” කතාව ‘අවනඩුවක්’ වුවද උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශාන්තබෝධි නායක හාමුදුරුවෝ වචනයකින් හෝ ආවේගශීලී නොවූහ. අතීතයේ සිට මෙවැනි ස්වාමීන් වහන්සේ නොසිටින්න අපට හෙළ උරුමයක් ඉතිරි නොවේ. මේ වනවිට අහිකුණ්ඨික අන්තවාදීහු අපේ උරුමය කොල්ලකාගෙන හමාරය. එහෙත් තවමත් අන්තවාදී ක්‍රියාකාරකම්වල අඩුවක් නැත. සිංහල ජාතිය විනාශ මුඛයට තල්ලු කිරීමට දෙස්, විදෙස් අන්තවාදීන් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින බව ද සැබෑ ය. අපට දුක උන්ගේ උඩු බිරුම් හමුවේ මෙරට සිංහල බලධාරීන් සහ නිලධාරීන් රූකඩ බවට පත් වී සිටින අයුරු දකින විටය.


පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගත් බුද්ධ ප්‍රතිමා


එහෙත් කුරුන්දි පුරාවිද්‍යා භූමිය මේ තත්ත්වයට සංරක්‍ෂණය කරගැනීමට දෙස්, විදෙස් බෞද්ධයන්ගෙන් ලැබී ඇති දායකත්වය සුළුපටු නැත. කුරුන්දියේ සියලුම පුරාවිද්‍යා කටයුතු සඳහා මූල්‍යමය දායකත්වය ලබා දී ඇත්තේ බෞද්ධාලෝක පදනමේ සභාපති ජගත් සුමතිපාල මහතාය. එම දායකත්වය රුපියල් කෝටි 2කට වැඩිය. සූර්ය පැනල් සවි කිරීම, මුරකුටි ඉදිකිරීම ආදී වෙනත් වියදම්වලට පිනට හිතැති බෞද්ධයන් තවත් රුපියල් ලක්‍ෂ 50ක් පමණ පරිත්‍යාග කර ඇත. මුදල් කොපමණ ලැබුණ ද යුද හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රම දායකත්වය නොලැබෙන්න කුරුන්දිය පූජා භූමියක් බවට පරිවර්තනය කිරීම සිහිනයක පමණි. එමෙන්ම කුරුන්දි පුදබිම ආරක්‍ෂා කරගැනීමට බෞද්ධ සමාජයෙන් දැවැන්ත ශක්තියක් ලැබුණ ද එම පූජා භූමිය පිහිටි නාගචෝල රක්‍ෂිතයට සිදුවන මහ විනාශය හමුවේ බෞද්ධ සමාජය ද නිහඬය. උතුරේ අන්තවාදීන් මේ වනවිටත් නාගචෝල රක්‍ෂිතයේ අක්කර දහසකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ කර හමාරය. රක්‍ෂිතයයේ මහ ගස් කපා හෙළා, යකඩ දත්වලින් පොළොව පහුරු ගා වගා බිම් බවට පරිවර්තනය කර ඇති ප්‍රාදේශීය දේශපාලනඥයෙක් කුරුන්දි විහාරයට එරෙහි අන්තවාදී කුමන්ත්‍රණ යට සිටින බව ද ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග ය. එම පාදඩ දේශපාළුවාගේ රක්ෂිත කොල්ලයට කුරුන්දි විහාරයේ සංරක්‍ෂණ කටයුතු බාධාවක් බැවින් විවිධාකාර ගල් පෙරළීම් කරන බව උතුරු පළාත් ප්‍රධාන සංඝ නායක ගල්ගමුවේ ශාන්තබෝධි හාමුදුරුවෝ ද අප සමග පැවසූහ.


පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගත් දෑ 

රටේ නීතිය ක්‍රියාත්මක නොවුණ ද ශාසනික දේපළ, රක්‍ෂිත කොල්ලකරුවන්ට සොබාදහමෙන් ගැලවීමක් නැත. ගහ, කොළ කැලෑව තිබුණොත් අපිට හුස්ම ටික ලැබෙන බව සැබෑය. හෙළ උරුමය ඉස්මතු වෙන්න පෞඪ ජාතියක් විදිහට අපේ රට ලෝකය ඉදිරියේ බැබළෙන බව අප මතක තබාගත යුතුය. කුරුන්දියේ බෞද්ධ උරුමය සංරක්‍ෂණය කිරීම අවසාන නැත. දෙස්, විදෙස් බෞද්ධයිනි, ඉදිරි සංරක්‍ෂණ කටයුතු සඳහා ද ඔබගේ උපකාරය ඇවැසිය.

තරංග රත්නවීර | දිවයින 
Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top