
ඊයේ යුද්ධය ගැන අමිහිරි කතාවක් ඇහුණා...
ඒක හරියට අපේ ඕනකමට යුද්ධ කරා වගේ කතාවක්..
යුද්දෙන් මොනවද ලැබුනේ කියලා අහනවාත් ඇහුනා..
එහෙම අහනකොට ඉස්සෙල්ලම හිතුන එක තමයි,
යුද්ධෙන් ලැබුණු එක දෙයක් තමයි ඒ පැත්තකට ගිහිල්ලා ඔහොම කතාවක් කරලා ආපහු පණ පිටින් එන්න පුළුවන් වෙච්ච එක..
මට හොඳට මතකයි ලංකාවේ පොලිසියෙන් නිලධාරීන් වගයක් මන්නාරමට ගියා අපචාර සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න..
තමන්ගේ බල ප්‍රදේශයට ලංකාවේ පොලිසිය ඇතුළු වුණා කියලා ,
ඒ කාලෙ ඒ පැත්ත පාලනය කරපු එල්ටීටීඊ පොලිසිය,
එම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ගෙම උසාවියකට දාලා ,
නඩුව අහන කොටි ගෑනියෙක්ගේ නියෝග මත එම නිලධාරීන් කොටින්ගෙ හිර ගෙදර රිමාන්ඩ් කරා..
අන්තිමේදී කොටි උසාවිය හරහාම තමයි ඇප ගන්න වුණේත්..
1970 දශකය අවසන් වන තෙක් උතුරේ නැගෙනහිර තිබුණෙ සාමකාමී වාතාවරණයක්..
ඒ දශකයේ අවසන් භාගයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ,
යාපනය මහ නගර සභාවේ නගරාධිපතිතුමා, මරල දාලා ,
ඊට පස්සේ උතුරට ගියපු රහස් පොලිස් නිලධාරීන් වගයක් ,
මගේ මතකයට හැටියට පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ ඇතුළු පිරිසක්,
මරා දමමින් තමයි හිමින් හිමින් කලබල පටන්ගත්තේ..
ඒව පටන් ගත්තෙ දකුණේ හෝ වෙනත් පැත්තක සාමකාමී ජනතාව නෙවෙයි..
ඊට පස්සේ වෙච්ච දේවල් මේ රටේ මිනිස්සු දන්නවා.
මම දන්නෑ සමහරුන්ට ඒක අමතක වෙලාද කියලා ..
අවුරුදු විසි ගානක් මේ රටේ පැවතුණේ ඉතාමත් බිහිසුණු යුගයක් බව අපට නම් මතකයි..
යුද්දෙ කරේ කාගේ වුවමනාවටද කියලා අහන්න අයට දෙන්න තියෙන උත්තරේ තමයි ඒ බිහිසුණු යුගයෙන් ,
මරණ බයෙන් ,
මිනිස්සු බේරගන්න තමයි යුද්ධ කරේ..
එහෙම නැතුව වෙන අමාරුවකට නෙවෙයි..
උතුරේ නැගෙනහිර මායිම් ගම්මාන වලට පැනලා අහිංසක ගොවි ජනතාව ඉතාමත්ම කෲර විදියට මරලා දාලා,
මම හිතන්නේ අපි ඉතිහාසයේ අහලා තියෙන පෘතුගීසි සෙන්පතියා අසවේදු අපේ මිනිස්සු මරලා දැම්මටත් වැඩිය සාහසික විදියට මිනිස්සු මරණ දාලා,
ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පසුව බ්‍රිතාන්‍ය හමුදාව ඔවුන්ට විරුද්ධව සටන් කරපු අපේ මිනිස්සුන්ට දීපු කෲර වද බන්ධන වලටත් එහා ගිය විදියට වද දීලා මිනිස්සු මරල දාලා,
ගත වෙච්ච යුගයක් ඒක..
ලෝකයේ ඒ වන විට තිබුණු බලවත්ම ත්‍රස්ත සංවිධානය බවට පත්වුණු සංවිධානයක් මේ රට කොටසක් කඩාගන්න,
යටත් කරගන්න,
හදනකොට ඒකෙන් මේ රට බේරගන්න කරපු යුද්ධයක් ඒක..
එහෙම නැතුව කාගේවත් ඇඟේ පතේ අමාරුවට කරපු වැඩක් නෙවෙයි..
යුද ටැංකි කාලතුවක්කු ඔවුන් සතු උනා.
ලෝකයේ කිසිම ත්‍රස්ත සංවිධානයකට ඒවා තිබුණේ නෑ..
ඒත් ත්‍රස්ත සංවිධානය දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ හමුදා බ්‍රිගේඩයක් විනාශ වෙච්ච දරුණු ප්‍රහාරයක් අපේ හමුදාවට එල්ල කරා..
ඒතරම් ඔවුන් බලවත්ව සිටියා..
මුලතිව් බල සේනා මූලස්ථානයට පහර දීලා සෙබලුන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සමූල ඝාතනය කරා..
එහෙම කරනකොට ඒ සංවිධානයට එරෙහිව යුද්ධ නොකර පොල්ගාන්නද...?
එහෙමත් නැත්නම් නැට්ට පස්සෙ පැත්තෙ ගහගෙන පරාජය පිළි අරගෙන ආපහු එන්නද...?
ඔවුන්ට යුධ අවි ප්‍රවාහන දැවැන්ත නෞකා තිබුණා..
ලෝකයේ ප්‍රථම වරට මරාගෙන මැරෙන නාවික යාත්‍රා තිබුණා..
අපේ නාවික හමුදාවේ විරෝධාර නාවික සෙබලු ඒවත් එක්ක සටන් කරේ සම්පූර්ණයෙන් තමන්ගේ ජීවිතේ පිළිබඳ තියෙන ආසාව අත්හැරලා..
එහෙම කරලා තමයි ඔවුන්ගේ සැපයුම් ජලය අඩපණ කරන්න උත්සාහ කළේ..
විදෙස් යුද විශේෂඥයෝ ඔවුන්ගේ මෙහෙයුම්වල නිර්භීත භාවය අහලා විශ්මිත වෙලා තියෙනවා..
ගුවන් හමුදාව තමන්ට තිබුණු සීමිත සම්පත් වලින් උපරිමය කළා..
තමිල් චෙල්ලම් ඇතුළු පිරිසට එල්ල කළ ප්‍රහාරය විශ්මිතයි...
අනිත් එක මේ බිහිසුණු ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ ම්ලේච්ඡත්වය එල්ල කරේ සිංහල ජනතාවට විතරක් නෙවෙයි. ඔවුන්ට විරුද්ධ ද්‍රවිඩ ජනතාවට ද්‍රවිඩ නායකයන්ටත් ඔවුන් ඒ තර්ජනය එල්ල කරා..
උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඉහළටම ගිය පුද්ගලයා වෙච්ච මෙරට විපක්ෂ නායක ධුරයද දැරූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් මහතා ඇතුළු මොනතරම් දෙමළ දේශපාලන නායකයෝ මරලා දැම්මද..?
ඒ වගේම එල්ටීටීඊ සංවිධානයත් එක්කම හැත්තෑවේ දශකයේ උතුරේ බිහිවුණු අනිත් සමකාලීන සංවිධානවල කීදෙනෙක් මරලා දැම්මද..?
ලක්ෂ්මන් කදිරගාමර් වගේ, නීලම් තිරුචෙල්ලම් වගේ ද්‍රවිඩ ජන සමාජයේ උගත් කීර්තිමත් දේශපාලන නායකයෝ මරලා දැම්මා..
මේ රටේ මොනතරම් නායකයෝ මරලා දැම්මද.
ජනාධිපතිවරු ඇමතිවරු...
ඒ වගේම අල්ලපු රටේ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයාත් මරල දැම්මා...
තමන්ගේ මතය පිළිනොගන්නා ඕනෑම කෙනෙකු මරලා දාන බිහිසුණු සංවිධානයක් ඒක..
ඒ වගේ බිහිසුණු සංවිධානයක් මර්ධනය කරන්න තමයි අපේ නායකයෝ අපේ රණවිරුවෝ සටන් කලේ..
ලෝකයේ බොහොම බලගතු රාජ්‍යයන් කිව්වා කවදාවක්වත් මේ ත්‍රස්ත සංවිධානය පරද්දන්න බැහැ. ඒ නිසා කතා කරල ඔවුන්ට ඕන එක දීලා ඕක විසඳගන්න කියලා..
මොකක්ද ඔවුන්ට ඕන එක ...?
මේ රටින් කොටසක් කඩලා ඔවුන්ට ඉල්ලන එක.. ඒක මුල් පියවර වෙන්න පුළුවන්..
ලෝකයේම හිටපු යුදෙව් ජනතාව පලස්තීනයේ කොටසක් කඩලා රටක් හදලා දුන්නට පස්සේ, දුන් ඒ යුදෙව් රාජ්‍යයට උදව් කරා වගේ, යම් විදියකින් ඒ කොටස ඔවුනට හිමි වුණොත් ඒක එතනින් නතර වෙයිද..?
අද පලස්තීනයට වෙලා තියෙන්නේ මොකක්ද..?
ඉත්තෑවගේ එකට කබල්ලෑව රිංගුවට වැඩිය දරුණු වැඩක්..
ලෝකය පුරා පැතිරී තිබෙන ඔවුන්ගේ හිතවතුන්ගෙන් ලැබෙන ආධාර උපකාර මත ඊළඟට වෙන්නේ දේශසීමාවට සටන් කරන රටක් බවට පත්වෙලා අන්තිමේදී ඉතුරු ටිකත් නැති වෙලා යන එක...
ඒ වගේ තත්ත්වයකින් මේ රට බේරගන්න තමයි යුද්ධ කරේ..
එහෙම නැතුව කහනවට නෙවෙයි..
ශ්‍රී මහා බෝධිය ගාව ආගමික වතාවත් වල යෙදී හිටපු උවැසි උවැසියන් වෙඩි තියල මරලා දාපු,
කාත්තංකුඩිය පල්ලියේ යාඥා කරපු මුස්ලිම් බැතිමතුන් සිය ගණනක් කෲර විදියට මරලා දාපු,
අරන්තලාවෙ භික්ෂූන් වහන්සේලා සාමණේර හිමිවරු තිස් ගානක් කපල කොටලා මරල දාපු
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වෙන ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාර එල්ල කරලා විනාශ කරපු,
ලෝකයේ තිබුණු ම්ලේච්ම ත්‍රස්ත සංවිධානයක් මර්ධනය කරලා නැති කරලා දාන්න තමයි යුද්ධ කරේ,
එහෙම නැතුව වෙන අමාරුවකට නෙවෙයි..
උතුරේ දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කරපු,
ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය නැති කරපු,
වයස අවුරුදු දොළහේ දාහතරේ දරුවන්ගේ කරේ සයනයිඩ් කරල එල්ලපු,
කෲර සංවිධානයක් විනාශ කරලා දාන්න තමයි යුද්ධ කරේ..
එහෙම නැතුව වෙන අමාරුවකට නෙවෙයි..
මේ රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කරන්න ප්‍රහාර එල්ල කරපු ,
ශ්‍රී ලංකා මහා බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කරපු,
කොළඹ වරායට ගාල්ල වරායට බෝම්බ ප්‍රහාර එල්ල කරපු ,
කොළොන්නාවෙ තෙල් ටැංකි සංකීර්ණයට බෝම්බ ප්‍රහාර එල්ල කරපු ,
කටුනායක ගුවන්තොටුපළට පහර දීලා ගුවන් යානා විනාශ කරපු,
ත්‍රස්ත සංවිධානයක් විනාශ කරන්න තමයි යුද්ධ කළේ. එහෙම නැතුව වෙන මොකකටවත් නෙවෙයි..
උදේ පාසලට යන දරුවා පණපිටින් ගෙදර එයිද කියලා අම්මල තාත්තල පනබයේ ගැහි ගැහි හිටපු කාලයක් තිබුණා..
උදේ වැඩට යන ස්වාමියා පියා වැඩ ඇරිලා ගෙදර එනකම් බෝම්බෙකට අහුවෙන්නේ නැතුව ගෙදර ඒවිද කියලා දෑස් දල්වාගෙන පපුව ගැහි ගෙහි හිටපු කාලයක් තිබුණා,
කොළඹ ප්‍රධානම පෙළේ බෞද්ධ පාසලක් ඇරෙන වෙලාවට එතෙන්ට පුපුරවන්න ගෙනාපු බස් රථය ඒ දරුවන්ගේ වාසනාවට මරදානෙදි පුපුරලා ගියේ නැත්නම් වෙන විනාශය හිතාගන්න බැරි අවස්ථාවක් තිබුණා,
පේරාදෙණිය සරසවි භූමියේ බේස් බෝල් තරඟයකට ගිහිල්ලා ආපහු කොළඹ ආපු ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දරුවෝ ටිකක් කොළඹ දුම්රිය පොළේදී කෑලි වලට කැඩිලා බෝම්බෙකට අහුවෙලා මැරිලා ගහිටපු අවස්ථාවක් තිබුණා,
අන්න ඒ කාලෙ ඉවර කරන්න තමයි යුද්ධ කරේ එහෙම නැතුව වෙන බම්බුවකට නෙවෙයි..
මේ යුද්ධය ජයග්‍රහණය කරේ ලේසියෙන් නෙවෙයි..
ඒ වෙනුවෙන් කැප පිච්ච ත්‍රිවිධ හමුදා රණවිරුවෝ විශේෂ කාර්ය බළකායේ බටයෝ ශ්‍රී ලංකා පොලිසියේ සිවිල් ආරක්ෂක බලකාය බටයෝ අපරිමිත කැප කිරීමක් කරා..
විශ්මිත මෙහෙයුම් කරා..
දුරදිග බිහිතුම් බලකාය අදහගන්න බැරි මෙහෙයුම් කළා..
ඒවා අපි දකින බටහිර හෝ ඉන්දියානු චිත්‍රපටවල තිබෙන කතාවලට වඩා බිහිසුණු.තතා...
ඒ වගේ සිනමා කතා නොවෙයි,
මේ මහ පොළොවේ සිදුවුණු සත්‍ය කතා..
ඔවුන්ගේ බලය බිඳින්න උතුර නැගෙනහිරදී පෙරමුණේ ගිය සෙබළු තමන්ගේ ජීවිතය නැතිවෙන බව දැන දැනම ඉදිරියට ගිහිල්ලා ඔවුන්ගේ බංකර විනාශ කළා..
ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිත පූජා කළා..
අගනුවර ඇතුළු ප්‍රදේශ පුපුරුවන්න බෝම්බ අරගෙන ආපු ත්‍රස්තයන්ට ඒ ඉලක්ක සම්පූර්ණ කරන්න දෙන්නේ නැතිව වළක්වගන්න අපේ බුද්ධි අංශ ලෝකයේ ඉහළම බුද්ධි අංශ පරයන මෙහෙයුම් කළා..
යුද්ධයේ අවසාන දින කිහිපයේදී,
ඉතා පහසුවෙන් බර අවි ප්‍රහාර වලින් ත්‍රස්ත නායකයා ඇතුළු කණ්ඩායම විනාශ කිරීමට හැකි වුවත්,
එම ත්‍රස්තයන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස හිරකර ගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත අහිංසක ද්‍රවිඩ ජනතාව බේරා ගැනීමේ පරමාර්ථයෙන්,
බර අවි ප්‍රහාර නවත්වා,
සුළු අවි වලින් සටන් කිරීම නිසා,
ජයග්‍රහණය පෙනි පෙනී අපේ වීරෝදාර රණවිරුවන් සිය ගණනක් සිය ජීවිත පූජා කලා..
එවන් පරිත්‍යාගයක් ලොව කිසිම හමුදාවක් කරනු ඇතැයි සිතිය නොහැකියි...
ඒවගේ තමයි යුද්ධය අවසාන දවස්වල ජාත්‍යන්තරයෙන් යුද්ධය නතර කරලත් ත්‍රස්ත නායකයන් බේරගන්න ආපු බලපෑම...
ජාත්‍යන්තර මුල්‍යාතන වලින් අපට දෙන ආධාර ණය නවත්තන්න කටයුතු කළා..
එහිදී ම ආර්ථිකය කඩා වැටීමේ අවදානමට අපට මුහුණ දෙන්න සිද්ධ වුණා..
ඒකට විසඳුමක් විදියට ඉරානය ලිබියාව වගේ රටවල් වලින් පට මූල්‍ය ආධාර දෙන්න සූදානම් වුණා.. ආධාර දුන්නා..
ඊට පස්සේ ආපහු අපිට නොදී නවත්තපු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ණය ආධාර ලැබෙන්න පටන් ගත්තා..
ඒ වගේ තත්ත්වයකට මුහුණ දෙන එක රාජ්‍ය නායකත්වයකට ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි..
වැරදිලා ගියොත් මිනිස්සු දේශප්‍රේමය පැත්තකට තියලා කන්න බොන්න නෑ කියලා ආණ්ඩුව පන්නලා දානවා..
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රංශයේ විදේශ ඇමතිවරු
විදේශ ලේකම් වරු, මිලී බෑන්ඩ්, කුෂ්නර්, හිටිහැටියේ ලංකාවට ආවා..
යුද්ධය නතර කරලා ත්‍රස්ත නායකයා බේරගන්න පුළුවන් විදියේ බලපෑම් කරන්න ඔවුන්ට පුළුවන් උත්සාහ ගත්තා..
හැබැයි රාජ්‍ය නායකත්වය ඒ ඉදිරියේ සැලුනේ නෑ.
ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැව ඉස්මත්තේදී දේශීය කෑම වේලකින් සංග්‍රහ කරලා,
" මහත්වරුනි අපි ඔබේ යටත් විජිත භාවයෙන් මිදිලා දැන් අවුරුදු හැත්තෑවකට කිට්ටුයි..
ඒ නිසා අපට නියෝග දෙන්න ඔබට"
කියලා ඔවුන් ආපසු හරවලා යැව්වා..
ඉන්දියාවෙන් ආපු බලපෑමත් ඉතාමත් රාජ්‍යතාන්ත්‍රික විදියට කළමනාකරණය කරගත්තා..
ඔවුන්ගේ විදේශ ලේකම් ආරක්ෂක ලේකම්
ශිව ශංකර් මෙනන් සහ එම්.කේ. නාරායන් ඇතුළු පිරිස ආවිට ඔවුන්ගෙත් හිත සතුටු කරලා කොහොම හරි යුද්දෙ නවත්තන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න කටයුතු කරා..
හමුදාවට ජයග්‍රහණය තෙක් යන්න එඩිතරව අවශ්‍ය රාජ්‍ය නායකත්වය ලබලා දුන්නා..
වඩමරච්චි සටනෙදි වගේ මෙහෙයුම් නතර කළේ නෑ.
එහෙම කරලා මේ යුද්ධය ජයග්‍රහණය කළේ කැහිල්ලට නෙවෙයි..
මේ රටේ මිනිස්සුන්ට මරණ බයෙන් තොරව ජීවත් වෙන්න රටක් හදලා දෙන්න..
එහෙම කරපු යුද්ධයක් හෙලා දකින විදියට තුට්ටු දෙකට දාලා කතා කරනකොට ඇත්තටම හිතට දුකයි..
යුද ජයග්‍රහණයේදී රාජ්‍ය නායකත්වය දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන්න නිසා ඒක ගැන හිතලා යුද්දෙට එරෙහි වෙනවනම් ඒක බාල වැඩක්..
මොකද ඒ ජයග්‍රහණයේ ප්‍රතිලාභය ලැබිලා තියෙන්නේ මුළු මහත් ජාතියටම ... රටටම..
යුද්ධයෙන් පස්සේ උතුර දකුණ අතර කිසිම ගැටලුවක් නැතුව මිනිස්සු බොහොම හොඳට ජීවත් වෙනවා..
උතුරේ සමහර සංවිධාන එහි තිබෙන ඓතිහාසික බෞද්ධ උරුමයන්ට එරෙහිව මෑතක ඉඳලා යම් යම් කටයුතු කරත් මෙතෙක් එවැනි තත්ත්වයක් තිබුණෙ නෑ..
මෑතක ඉඳන් ඒගොල්ලෝ අමුතු හයියක් අරගෙන තියෙනවා..
ඒත් බහුතර උතුරේ ජනතාව ඒක අනුමත කරනවා කියලා මම හිතන්නේ නෑ..
හැබැයි අනවශ්‍ය විෂබීජ ඒ මිනිස්සුන්ගේ ඔලුවලට ආපහු දැම්මොත් තත්වය වෙනස් වෙන්න පුළුවන්..
නැති ජාති භේද ඒ මිනිසුන්ගේ ඔලු වලට දාන්න හොඳ නෑ..
නමුත් දකුණේ විශේෂයෙන්ම අගනුවර ද්‍රවිඩ ජනතාව කිසිදු ප්‍රශ්නයකින් තොරව ඉතාමත් හොඳින් සාමකාමී ජීවිතයක් ගත කරනවා.
බහුතර ජනතාව වූ සිංහලයන් කිසිදු ගැටළුවක් ඇති කරේ නෑ..
කොළඹ ව්‍යාපාරික ප්‍රජාවේ ඉහළම තැන්වල ඉන්නේ රටේ මහ ජාතිය නෙවෙයි..
ඊට වඩා මොකක්ද අපෙන් බලාපොරොත්තු වෙන සංහිඳියාව.?
ඒ නිසා යුද්ධෙන් ලැබුනේ මොකක්ද කියලා අහන එකට මේ තියෙන සාමකාමී වාතාවරණයත් තවත් උත්තරයක් ....
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විරුද්ධ වෙනවා නම් ඒක තමන්ගේ දේශපාලනය අනුව වෙන්න..
හැබැයි බිහිසුණු ත්‍රස්තවාදී අවසන් කරපු යුද ජයග්‍රහණය කිසිවිටක හෑල්ලු කරන්න එපා..
අපිට මේ නිදහස් රට ලබලා දෙන්න ඒ යුද්ධය නිසා ජීවිතය පූජා කරපු දහස් ගණන් අපේ සහෝදරයන්ගේ අවසන් හුස්ම පොද මේ රටේ වාතලයට එකතු වෙලා තියෙනවා..
තවත් දස දහස් ගණනක් ආබාධිත වෙලා තියෙනවා..
රණවිරු සෙවනකට ගිහිල්ල බලන්න..
තමන්ගේ ජීවිතයේ යෞවන තරුණ වයසෙදිම අතපය අහිමිකරගෙන ,
දෑස් අහිමි කරගෙන,
අපිට නිදහස උදා කරලා දෙන්න ,
මනුස්සයෙකුට කරන්න පුළුවන්
උපරිම පරිත්‍යාගයන් කරපු මිනිස්සු ඇඳන් උඩට වෙලා ඉන්න හැටි...
ඒ මිනිස්සුන්ට මේවා ඇහෙනකොට මොනවා හිතෙනව ඇද්ද...?
ඒක අපිට තේරුම් ගන්න බැරි නම්
අපි හරි අකෘතඥ ජාතියක්...
මේ වගේ ජාතියකට මේ වගේ රටකට ඉර පායාවිද කියලා හිතෙනවා..
- lal de alwis (facebook)

