
ඇගේ ෆේස්බුක් පිටුව මෙතැනින් ලයික් කරන්න.
“මං පොඩි කාලේ සිංහල පන්සලට ගියා. ගියාට පස්සේ දැක්කා එතැන ස්වාමින් වහන්සේලා ධර්මය තුළින් මිනිස්සුන්ට උදව් උපකාර කරන හැටි. ඒ දැක්කම මටත් හිතුණා උන්වහන්සේලා වගේ ධර්මය තුළින් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න ඕන කියලා. මං හිතන්නේ අපට ධර්මය තුළින් සතුටු වෙන්න, සන්සුන් වෙන්න පුළුවන්. ඒ ගැන ගොඩාක් අය තාමත් හරියටම දන්නේ නෑ.”
පසුගිය පොසොන් පෝයදා ‘අද දෙරණ 24’ නාලිකාවේ විකාශය වුණු ‘සති’ වැඩසටහන නරඹද්දී තමයි මට මට ඔය කතාව අහන්න ලැබුණේ. දෙරණ නාලිකාවේ ජනප්‍රිය නිවේදිකාවක් වන ඉන්දීවරී අමුවත්ත විසින් මෙහෙයවපු ඒ වැඩසටහනේදි කැඩුනු සිංහලෙන් මේ කතාව කිව්වේ තරුණ මෙහෙණින් වහන්සේ නමක්. උන්වහන්සේගේ මා දැකපු ලොකුම විශේෂත්වය තමයි, උන්වහන්සේ විදේශීය මෙහෙණින් වහන්සේ නමක් වීම. ඉතාලිය තමයි උන්වහන්සේගේ උපන් දේශය. ‘සති’ වැඩසටහනෙන් පස්සෙ අපි උන්වහන්සේව බැහැදකින්න උත්සාහ කළත් ඒ වෙනකොටත් උන්වහන්සේ ආපසු මව්රටට වැඩම කරලයි තිබුණේ. ඒත් පසුගියදා නැවතත් ලංකාවට වැඩම කරපු වෙලාවක අපේ මිතුරිය ඉන්දීවරීගේ සම්බන්ධීකරණයෙන් උන්වහන්සේ බැහැදකින්න යන්න අපිට පුළුවන් වුණා. මෙවර ‘ධරණී’ කවරයට පෙනී සිටින්නත් අපි ගෞරව පූර්වකව ආරාධනා කළේ උන්වහන්සේට.
*මෙහෙණින් වහන්සේගේ නම මොකක්ද?
“ගිහි කාලේ නම මර්තීනා. දැන් ගෝතමී...”
ගෝතමී මෑණියන් ගිහි කාලයේ නමත් කියලම කතාබහ පටන්ගත්තු නිසා අපිටත් හිතුණා ගෝතමී මෑණියන් ගැන අහන්න කලියෙන් මර්තීනා ගැන අහලා බලන්න.
“මං ඉපදුණේ ඉතාලියේ සිසිලි දූපත්වල සාමාන්‍ය පවුලක. අම්මයි තාත්තයි මමයි විතරයි පවුලේ හිටියේ. මං හොඳට ඉගෙනගත්තා. ඒ අතරවාරේ පාර්ට් ටයිම් ජොබ් එහෙමත් කළා. මං ගෑනු ළමයෙක් උනාට මොකද හරි සරල විදියට ජීවත් වුණේ. ඒ කියන්නේ පිළිවෙලට හිටියට විලාසිතා කරන්න එහෙම ලොකු උනන්දුවක් තිබුණේ නෑ. හරිම සාමාන්‍ය ජීවිතයක් ගතකළේ.”
මර්තීනා ඒ සරල, සාමාන්‍ය ජීවිතේ ඇතුළේ නිතරම ඇගේ අම්මට කියපු කතාවක් තිබුණලු.
“මං අම්මට කිව්වා, අම්මේ මම විවාහ වෙන්න ආස නෑ කියලා. ඒත් අම්මා හිතුවා මං ඒ කාලේ එහෙම කිව්වට මොකද ලොකුවුණාම ඒ දේවල් වෙනස් වෙයි කියලා. ඒත් එයා හිතුවා වැරදියි. ඒ දේවල් ලොකුවෙලත් වෙනස් වුණේ නෑ. මම ආස කළේ තනියම ඉන්න.”
ඔහොම ඉන්න අතරේ තමයි මර්තීනාගේ අම්මයි තාත්තයි වෙන්වෙලා තියෙන්නේ. ඒත් එක්ක ඇයයි අම්මයි තනිවෙලා. ඒ වෙනකොට මර්තීනාට වයස අවුරුදු 10ක්ලු.
“අම්මා තමයි ඊටපස්සේ මාව බලාගත්තේ. ඒ සිදුවීමෙන් පස්සේ මට තේරුනා අම්මා මානසිකව විඳවනවා කියලා. ඇය අසනීපත් වුණා. එතැනදි මට තේරුම් ගියා ජීවිතේට බැඳීම් ඕනම නෑ කියලා. මොකද අනාගතේ දවසට මට උනත් ඒ ටික වෙන්න පුළුවන් කියලා තේරුම් ගියා. කොහොමහරි ගෙදර ප්‍රශ්න එක්ක මගේ තිබුණු අර ඉගෙනීමේ ආසාවත් නැතිවුණා. මම දුක්වුණා. ගොඩාක් කල්පනා කළා. මම ඊළඟට කරන්නේ මොකක්ද කියලා සෑහෙන්න හිතුවා.”
මර්තීනාගේ ඉගෙනීමට තිබුණු උනන්දුව අඩුවීමත් එක්ක පාසලේ විද්‍යා ගුරුවරියක් ඈ ගැන සෝදිසි කරලා බලලා. එතකොට තමයි මර්තීනා ඒ වෙනකොට මුහුණදීලා හිටපු ප්‍රශ්න ගැන ඇයට දැනගන්න ලැබිලා තියෙන්නේ.
“ඒ ටීචර් දවසක් මට අපේ රටේ තියෙන සිංහල (බෞද්ධ) පන්සලක් ගැන කිව්වා. දවසක ඒකට යමු, එතකොට හිත සන්සුන් වෙයි කිව්වා. අපේ රටේ සිංහල පන්සල් තියෙනවා කිව්වම මුලින් මං පුදුම වුණා. කීපදවසකින් මම ටීචර් එක්කම ඒ පන්සලට ගියා. පන්සලේ සිංහල හාමුදුරුවෝ කීපදෙනෙක් වැඩහිටියා. මම උන්වහන්සේලා එක්ක කතා කළා. උන්වහන්සේලා මට ධර්මය පිළිබඳව ගොඩාක් දේවල් කියලා දුන්නා. ඒ වෙලාවේ මට බෞද්ධ ආගම ගැන උනන්දුවක් ඇතිවුණා. ඒත් එක්කම ඒ ගියපු වෙලාවේ මං දැක්කා ධර්මය ඇසුරෙන් උන්වහන්සේලා අපේ රටේ මිනිස්සුන්ට උදව් උපකාර කරන හැටි. ඒ දැක්කම මටත් හරි ආස හිතුණා උන්වහන්සේලා වගේ ධර්මය තුළින් මිනිස්සුන්ට උදව් උපකාර කරන්න.”
තමන්ටත් වඩා අනුන්ගේ යහපත හිතලා මර්තීනා ගිහි ජීවිතයට සමුදෙන්න තීරණයක් අරන් තියෙන්නේ ඊටපස්සේ. ඒ අනුව බුරුමයට (මියන්මාරය) ගිය ඇය එහිදී තාවකාලික පැවිද්ද ලබලා. ඒ කෙටි කාලයකට. ඒත් ඒ කෙටි කාලය තුළ ඇයට බුදුදහම ගැන ලොකු පැහැදීමක් ඇති උනාලු.
“ඊටපස්සේ මම හිතුවා පැවිදිවෙලා මුළු ජීවිත කාලෙම මෙහෙණින් වහන්සේ නමක් විදියට ගත කරනවා කියලා. එහෙම හිතලා ආයෙමත් සැරයක් මං බුරුමයේදිම ගෝතමී කියන නමින් සදහටම පැවිදි වුණා. ඒ 2022 අවුරුද්දේ අන්තිම මාසේ.”
*එදා පැවිදි වෙන්න ගත්ත තීරණයට අම්මගෙන් කැමැත්ත ලැබුණද?
“මුලින් අම්මා අකමැති වුණා. මොකද හිටියෙත් මං විතරනේ. පස්සේ අම්මා ඇහුවා ජීවිතේ ගැන කලකිරිලද මහණ වෙන්නේ කියලා. මං කිව්වා එහෙම නෑ ජීවිතේ ගැන අවබෝධ කරගෙනයි මහණ වෙන්නේ කියලා. මං අම්මටත් බුදුදහම ගැන ගොඩාක් දේවල් කියලා දුන්නා. ඒවා අහලා අම්මා මාව තේරුම් ගත්තා. ඔලුව අතගාලා මම යන ගමන යන්න කිව්වා. ඒත් මට මතකයි අම්මා එදා ගොඩාක් ඇඬුවා.”
ගෝතමී මෙහෙණින් වහන්සේ භික්ෂුනියක් විදියට මේ ගතකරන්නේ තුන්වැනි අවුරුද්ද. ඒ නිසාම එදා ගත්තු තීරණය ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ කියලත් අපි අහලා බැලුවා.
“එදා ගත්ත තීරණය ගැන හරි සතුටුයි. මට දැන් වයස අවුරුදු 26ක් වෙනවා. ඒ කාලේ පුරාවටම මං ගත්ත හොඳම තීරණය තමයි මේ. මට ගිහි ජීවිතයේ ඉන්නකොට ජීවිතේ ගැන ලොකු බරක් දැනුණා. ඒත් බුදුරජාණන් වහන්සේගේ සෙවණට ආවට පස්සේ ඒ බර වෙනුවට ජීවිතේ මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.”
*ඔබ වහන්සේ තාමත් තරුණයි. තරුණ ගැහැනු ළමයි එහෙම දකිද්දි මොකද හිතෙන්නේ?
“එහෙම විශේෂ දෙයක් හිතෙන්නේ නෑ. මොකද මං ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම අමතක කරලයි මේ ජීවිතේ තෝරගත්තේ. ඒක නිසා කොහෙත්ම මගේ හිත බාහිර දේවල්වලට නොසන්සුන් වෙන්නේ නෑ.”
මේ වෙනකොටත් ගෝතමී මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩම කරලයි ඉන්නේ. ඒ සිංහල භාෂාවෙන් ධර්මය ගැන ඉගෙනගන්න.
“මට ඉතාලි, චීන, ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ කියන භාෂා හතර පුළුවන්. ඒත් මට ඕන වුණා සිංහල ඉගෙනගන්න. ඒකයි මං වැඩිහරියක් ලංකාවට වඩින්න හිතුවේ. මොකද බුද්ධ ධර්මයේ තියෙන පාලි ගාථා එහෙම පාඩම් කරගන්න සිංහල මට වැදගත් කියලා හිතුවා. දැන් මං සිංහල භාෂාව ඉගෙනගන්නවා. දැන් කතා කරන්නයි ලියන්නයි එහෙම පුළුවන්.”
අහම්බෙන් වුවද බුද්ධාගම ගැන තමන්ට දැනගන්න ලැබීම පිළිබඳ සතුටුවෙන බවත්, ඒ අතරින් පංචශීලය ආරක්ෂා කිරීමෙන් යහපත් මිනිසුන් මෙන්ම ගුණදහම් අතින් පොහොසත් රටක් නිර්මාණය වෙන බවත් උන්වහන්සේ අපි සමඟ වදාළා.
“බුද්ධාගම කියන්නේ ලෝකයේ තියෙන හරිම හොඳ ආගමක්. ගොඩාක් හොඳ දේවල් තියෙන ආගමක්. වැඩිය ඕන නෑ පන්සිල් පද පහ අරන් බලන්න. ඒ පහ හරියට රැක්කොත් ඒක හරහා කොයි තරම් හොඳ පුද්ගලයෙක් බිහිවෙනවද? ඒකෙන් ඒ පුද්ගලයාගේ ජීවිතේ කොයිතරම් යහපත් වෙනවද? මේ රටේ මිනිස්සු හැමෝම පන්සිල් රැක්කොත් කොයිතරම් ලස්සන රටක් හැදෙයිද?”
*‘නිර්වාණය’ ගැන ඔබවහන්සේට අදහසක් තියෙනවද?
“නිර්වාණය ළඟාකරගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ. ඒත් තවම මං ඉන්නේ ඒ දේවල් ගැන ඉගෙනගනිමින්. ඒ කියන්නේ මාත් තවම ඉන්නේ මග. මම මෙහෙණින් වහන්සේ නමක් විදියට ධර්මය තුළින් මිනිස්සුන්ට උදව් කරන්න කැමතියි. අපි අතරේ අසරණ මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඔවුන් දුකින් ඉන්නේ. එයාලා දන්නේ නෑ කොහොමද එතැනින් ගොඩඑන්නේ කියලා. ඒ ඇවිත් කොහොමද ජීවිතේ යහපත් කරගන්නේ කියලා. මෙහෙණින් වහන්සේලා විදියට ධර්මය තුළින් අපි ඔවුන්ට පිහිටවෙන්න ඕන. මට ඕන ධර්මය මනා ලෙසින් ප්‍රගුණ කරලා එහෙම කරන්න.”
ගෝතමී මෙහෙණින් වහන්සේ මේ දිනවල වැඩවාසය කරන්නේ අපේ රටේ නිසා ඒ ගැනත් උන්වහන්සේගෙන් අහලා බැලුවා. උන්වහන්සේ පැවසුවේ ශ්‍රී ලංකාව ලෝකේ තමන්වහන්සේ දුටු හොඳම රටක් බවයි.
“ලංකාව කියන්නේ හරිම හොඳ රටක්. මිනිස්සු උනත් හරිම කරුණාවන්තයි. ඒ වගේම හරිම පරිත්‍යාගශීලීයි. මමත් ලංකාවට කැමතියි. මගේ බලාපොරොත්තුව දිගටම ලංකාවේ ජීවත්වෙන්න.”
*ලංකාවේ ඔබවහන්සේ වැඩම කරලා තියෙන තැන් මොනවද?
“මං ප්‍රධාන ආගමික ස්ථාන හැම එකටම වගේ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අනුරාධපුරය, නුවර, පොළොන්නරුව, කැලණිය එහෙම. හරිම ආසයි නුවරට.”
කතාබහේ අවසානේ ගෝතමී මෙහෙණින් වහන්සේ බුදුදහම ඇසුරෙන් ඔබ වෙනුවෙන් යමක් වදාළන්නත් අමතක කළේ නෑ.
“හොඳ බෞද්ධයෙක් හැටියට පන්සිල් ආරක්ෂා කරන්න. එතකොට නිකන්ම ඔබ ගුණයහපත් පුද්ගලයෙක් වෙයි. ඒ වගේම හොඳින් මතකයේ තියාගන්න සියල්ල අනිත්‍යයි කියලා. එතකොට ජීවිතේ පහසුයි. හැම මොහොතකම මෛත්‍රියෙන් හිත පුරවගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වූ මග ඔස්සේ පමණක්ම යන්න. ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි!”
(විශේෂ ස්තුතිය - ඉන්දීවරී අමුවත්ත)
රුවන් එස්.සෙනවිරත්න
