
2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග වැදී ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පිවිසි වෛද්‍ය රාමනාදන් අර්චුනා මේ දිනවල උතුරේ මෙන්ම දකුණේ ජනතාව අතරද අතිශයින් ජනප්‍රිය දේශපාලන චරිතයකි. කුමන හෝ හේතුවකට උතුරේ දේශපාලනඥයෙක් දකුණේ ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වීම කලාතුරකින් සිදුවන්නකි. මේ ඒ ගැන මෙන්ම සිය ජීවිතයේ රස මතක ගැන මන්ත්‍රි රාමනාදන් අර්චුනා "සති අග අරුණ පුවත්පතට"ට කියූ දේය.
රාමනාදන් අර්චුනා කියන නම දැන් උතුරට වඩා දකුණේ ජනප්‍රියයිනේ?
මම උතුරේ කෙනෙක් වුණාට වැඩිපුරම කාලයක් ජීවත් වුණේ දකුණේ. 2006 අවුරුද්දෙන් පස්සේ මම වරින් වර පේරාදෙණිය, කළුබෝවිල, කොළඹ, කෑගල්ල වගේ ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. ඒ අතරතුර යම් යම් කාලවල යාපනයෙත් ජීවත් වුණා. ඒ නිසා මම උතුරේ වගේම දකුණෙත් ජීවත් වුණ කෙනෙක් කියලා කිව්වට වරදක් නෑ. අදටත් මම කොළඹත් ඉන්නවා. උතුරටත් යනවා. ඒ නිසා පක්ෂ විපක්ෂ භේදයක් නැතිව දකුණේ හැමෝමත් මට ආදරය කරනවා. කොළඹින් ඡන්දය ඉල්ලන්න කියලත් මට ආරාධනා ලැබෙනවා. ඇත්තටම කිව්වොත් දෙමළ ජනතාවටත් වඩා මට වැඩිපුරම ආදරේ ලැබෙන්නේ සිංහල ජනතාවගෙන්.
දැන් කෝ අර වාහනයේ දමාගෙන ගියයි කියන කඩුව ?
ඒක පරණ කතාවක්නේ. මම කඩුවක් තියාගෙන හිටියේ නෑ. මන්ත්‍රිවරුන්ට ආරක්ෂාවට ගිනි අවියක්වත් දෙන්නේ නැත්තම් අපි කඩුවක් තියාගන්නවා කියලා ඒ දවස්වල මම කිව්වා. මම කඩුවක් තියාගෙන ඉන්නවා කියලා මතයක් සමාජගත වුණේ ඒ නිසයි. කතාවට එහෙම දෙයක් කිව්වා විතරයි.
සමහර දේශපාලනඥයන්ට රෑටවත් නින්ද යන්නේ නෑ කිව්වට දෙයියනේ කියලා ඔබට නම් වැටුණ තැනක සනීපෙට නින්ද යනවා නේද?
ඔය අහන්නේ අයවැය ඉදිරිපත් කරන දවසේ මට නින්ද ගිය සිදුවීම ගැන ද.
ඇයි මීට කලිනුත් එහෙම වැටෙන වැටෙන තැන්වල නින්ද ගිහින් තියෙනවා ද?
මොකද නැතුව. කැම්පස් යන කාලේ පිටුපස පේළිවලට වෙලා හොඳට නිදාගෙන තියෙනවා. දේශන අහන එක මම අකැමැතිම වැඩක්. ඒ වෙලාවේ නිදාගෙන පස්සේ අදාළ පොත් ටික කියවලා කරුණු දැනගන්න එක හොඳයි කියලයි මම හැමදාම හිතුවේ.
දේශනවලට ගිහින් නිදා ගත්ත කතාව පැත්තකින් තියමුකෝ. ඇත්තටම අයවැය කතාව වෙලාවේ නිදාගත්තේ මොකද ?
හත්වැනි දා අයවැය කතාව තිබුණේ දවල් එක හමාරටනේ. මම නවය වෙද්දි පාර්ලිමේන්තුවට ආවා. අයවැයට අදාළ කාරණා ගැන පොත් හය හතක් අපිට ලැබුණා. මම ඒ හැම එකක්ම කියවලා තේරුම් ගත්තා. උතුරට මොනවද දීලා තියෙන්නේ කියලත් බැලුවා. උතුරට කිසිම දෙයක් තිබුණේ නැහැ. කොහොමහරි අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන පැය හතර හමාරක් අයවැය කතාව ඇහුවට මට මොනවද ලැබෙන්නේ? මම ඊට කලින් දවසේ හවස හයට ලංකාවට ආවේ. නිදාගද්දී පාන්දර තුන හමාරයි. හතට නැගිටලා පුතාව ඉස්කෝලෙට දාලා නවයට පාර්ලිමේන්තු ගියා. මහන්සියත් තියාගෙන වැඩක් නැති අයවැයක් අහනවට වඩා නිදාගන්න එක හොඳයි කියලා හිතුණ නිසා මම නිදා ගත්තා.
කොහෙද උපන් ගම් පළාත?
මම ඉපදුණේ ලංකාවේ නෙමෙයි. ජර්මනියේ. ඒකට හේතුවක් තියෙනවා. මගේ තාත්තා 1966 -83 දක්වා සේවය කළේ ශ්‍රී ලංකා පොලිසියේ.
83 කලබල කාලයේ තාත්තා පවුලේ අයත් එක්ක ජර්මනියට ගිහින් හෝටලයක රැකියාවක් කරලා. මම ඉපදුණේ 86 අවුරුද්දේ. 87 විතර පවුලේ පිරිස නැවැත ලංකාවට ඇවිත්. ඊට පස්සේ යාපනයේ තමයි මගේ ළමා කාලය වැඩිපුරම ගත වුණේ.
පවුලේ විස්තර ටිකකුත් මතක් කරමු?
තාත්තගේ නම රාසයියා රාමනාදන්. අම්මා රාමනාදන් පුවනේෂ්වරී. ඒ දෙන්නා නෑනයි මස්සිනයි. අම්මා රැකියාවක් කළේ නෑ. මට වැඩිමහල් සහෝදරයෝ හතර දෙනෙක් ඉන්නවා. මම තමයි පවුලේ බාලයා. මම අර මුලින් කිව්ව විදිහට ජර්මනියෙන් ලංකාවට ආවට පස්සේ 90 ඉඳලා 2009 වනතුරුම තාත්තා එල්ටීටීඊ එකේ පොලිසියට බැඳිලා සේවය කළා. 2009 දී මගේ තාත්තා අතුරුදන් වුණා. ඔහු මැරුණද, මැරුවද, තවම ජීවත් වෙනවද කියලා අදටත් තොරතුරක් නැහැ. 2015 විතර අම්මත් පිළිකාවක් නිසා මියගියා.
පාසල් කාලය ගෙවුණේ යාපනේමද ?
නෑ. මම එක ශ්‍රේණියේ සිට හය ශ්‍රේණිය දක්වා ඉගෙන ගන්න පාසල් 19 කට ගිහින් තියෙනවා. ඒ දවස්වල යුද්ධ කාලෙනේ. ඉතින් මාසෙන් මාසෙට වගේ පාසල් මාරු කරන්න වුණා. අනෙක තාත්තත් රැකියාව කළේ පොලිසියෙනේ. ඔහුටත් වරින් වර මාරුවීම් ලැබුණා. මේ හේතු දෙකම නිසා මට හය ශ්‍රේණියට වෙනකම්ම සැරෙන් සැරේට පාසල් මාරු කරන්න වුණා. මම උසස් පෙළ කළේ 2005 අවුරුද්දේ. හය වසරේ ඉඳලා උසස් පෙළ වෙනකම් ඉගෙන ගත්තේ යාපනය හින්දු විද්‍යාලයෙන්. "ඒ" සාමාර්ථ අටක් සහ "බී" සාමාර්ථයක් සමග ඉහළින්ම සමාන්‍ය පෙළ සමත් වුණා. නීතිඥවරයෙක් වෙන්නයි මට වුවමනාව තිබුණේ. මම වෛද්‍යවරයෙක් වෙනවා දකින එක තාත්තාගේ හීනයක්.
මොනවද ළමා කාලයේ මතක?
මට යුද්ධය ගැන බොහෝ අත්දැකීම් තියෙනවා. ඇත්තටම පොඩි ළමයි නොදැකිය යුතු දේවල් පවා යුද්ධය කාලයේ මම දැක්කා. ඒ නිසා සුන්දර ළමා කාලයක් තිබුණා කියලා නම් කියන්න බැහැ. යාළුවන්ට වෙඩි වැදිලා මැරෙනවා පවා මම ඇස් දෙකෙන් දැකලා තියෙනවා. හවස හයෙන් පස්සේ එළියටවත් බැස්සේ නැති ළමා කාලයක් අපිට තිබුණේ.
විශ්වවිද්‍යාල දෙකක ඉගෙන ගත්තා කියන කතාව මොකක්ද?
මුලින්ම මම පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයටයි තේරුණේ. අවුරුදු දෙකක් විතර (2006- 2008 දක්වා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. ඒත් මට වෛද්‍ය පීඨයට යන්න ප්‍රමාණවත් තරම් ප්‍රතිඵල තිබුණා. නඩු කියලා ඒ අවස්ථාව අරගෙන මම යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අමතක නොවන ඇමතුමක් ලැබුණා මතකද?
2008 අගෝස්තු මාසේ 23 වැනිදා. මට ඒ දවස අද වගේ මතකයි. තාත්තා කිලිනොච්චියේ ඉඳලා මට කෝල් එකක් ගත්තා. ඒ මගේ තාත්තගෙන් මට ලැබුණු අවසාන කෝල් එක. මිනිත්තුවක් විතරයි කතා කළේ. එතකොට මම පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙක්. "මට මෙඩිසින් යන්න පුළුවන්, මොකද කරන්නේ" කියලා මම තාත්තාගෙන් ඇහුවා. "මම කැමැතියි ඔයා මෙඩිසින් යනවට. ඒත් දැන් යාපනේ තත්ත්වය එච්චර හොඳ නෑ. අපි කවදා හරි ආයෙත් හම්බවෙමු" කියලා තාත්තා කෝල් එක කට් කළා. එදායින් පස්සේ කවදාවත් තාත්තයි මමයි මුණ ගැහුණේ නෑ.
ඔබ පාර්ලිමේන්තුවට එන්න කලින් පවුලේ කවුරුහරි දේශපාලනය කරලා තියෙනවද?
මගේ පවුලේ කවුරුත්ම දේශපාලනය කරලා නෑ. අපේ අම්මගේ හෝ තාත්තගෙ පරම්පරාවේ කවුරුවත්ම දේශපාලනයට සම්බන්ධ නෑ. අපිට දේශපාලනය වගේම දේශපාලනඥයොත් පෙන්නන්න බෑ. අපේ පවුලේ බොහෝ දෙනෙක් වෛද්‍යවරු. සමහරු ව්‍යාපාරත් කරලා තියෙනවා. අම්මගෙ මාමාට බස් 166ක් තිබිලා තියෙනවා. පසුකාලීනව ඒ බස් ආණ්ඩුවට විකුණලා. ඊට පස්සේ තමයි සිටීබී එක හැදුණේ. පවුලේ හැමෝම ඉගෙනගෙන රස්සා කළා මිස දේශපාලනය කරලා නෑ. දේශපාලනය නොකළට මගේ පරම්පරාවම ක්‍රීඩාවට නම් දක්ෂයෝ.
පරම්පරාවම ක්‍රීඩකයෝ කිව්වේ මොකක්ද?
ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාවට මුල්ම රන් පදක්කම දිනා දුන් නාගලිංගම් එදිරිවීරසිංහම් ගැන අහලා තියෙනවද? එතුමා තමයි 1958 ටෝකියෝවල තිබුණු තුන්වැනි ආසියානු ක්‍රීඩා උලෙළේදී උස පැනීම ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනාවේ. ඒ මගේ තාත්තගෙ ලොකු තාත්තා. අපේ තාත්තත් 1966 අවුරුද්දේ පොලිස් පාපන්දු කණ්ඩායමේ නායකයා වෙලා ඉඳලා තියෙනවා. මගේ හතරවෙනි අයියා කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු පැසිපන්දු පුහුණුකරුවෙක්. මමත් විශ්වවිද්‍යාල කාලයේ වැඩිපුරම කැමැති වුණේ ක්‍රීඩා කරන්න. ක්‍රීඩාවලින් ජයග්‍රහණත් අරගෙන තියෙනවා.
පෙන්නන්නවත් බෑ කිය කිය දේශපාලනයටම ආවේ මොකද?
වෛද්‍යවරයෙක් විදිහට මට මුල්ම පත්වීම ලැබුණේ කළුබෝවිල රෝහලට. ඊට පස්සේ විවිධ රෝහල්වල සේවය කළා. 2015 - 2022 කාලය තුළ ළමා වෛද්‍යවරයෙක් හැටියටයි මම වැඩ කළේ. 2022 අවුරුද්දේ රෝහල් අධ්‍යක්‍ෂවරයෙක් වීම සඳහා අවශ්‍යය සියලුම සුදුසුකම් සම්පූර්ණ කළා. ඒ සඳහා පැවැතුණු විභාගයට 125ක් ලිව්වා. ඒකෙන් මම හතරවෙනි ස්ථානයට පත්වුණා. අදාළ සියලුම සුදුසුකම් සම්පූර්ණ කිරීමෙන් පසුව මට 2024 දී චාවකච්චේරි මූලික රෝහලේ අධ්‍යක්ෂ තනතුර ලැබුණා. එතැන ප්‍රශ්න කෝටියක් තිබුණා විසඳන්න. ඩයස්‌පෝරාවෙන් මිලියන 18 විතර දීලා තිබුණා චාවකච්චේරි රෝහල හදන්න. ඒත් ඇතුළේ හිටිය අය ඒ සල්ලි හොරකම් කරලා. ඒ හොරකම්වලට අදාළ සියලුම ලිපි ලේඛන මම එළියට ඇද්දා. බොහෝ දේවල් චාවකච්චේරි රෝහලෙන් පුද්ගලික රෝහල්වලට අරන් ගිහින් කියලා මම දැක්කා. මේ පිළිබඳ පරීක්ෂණ කරන්න පටන් ගත්තාම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට විරුද්ධ වුණා. මේ ප්‍රශ්නත් එක්ක මට පේරාදෙණිය මහ රෝහලට මාරුවීමක් ලැබුණා. හැබැයි ඒ වෙද්දිත් මම චාවකච්චේරී රෝහලේ හොරකම් සම්බන්ධ සියලුම තොරතුරු සමාජ මාධ්‍යවලට දීලා ඉවරයි. කොහොම හරි අවසානයේ මේ සිදුවීම නිසා මට රැකියාව අහිමි වුණා. හිරේ යන්නත් වුණා. ඒ අසාධාරණකම්වලට විසඳුම් අවශ්‍ය නිසයි මම දේශපාලනයට ආවේ.
කැම්පස් කොල්ලා කාලේ ආදර සම්බන්ධතාවලින් නම් අඩුවක් තියෙන්න නැතුව ඇති නේද ?
ඒවා නම් එකක් දෙකක් නෙමෙයි හතළිහක් පනහක් විතර තිබිලා තියෙනවා. උසස් පෙළ කාලයේ තමයි මට මුලින්ම පෙම්වතියක් මුණ ගැහුණේ. ඊට පස්සෙත් සම්බන්ධතා පහ හයක්ම තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න කාලයේ සිංහල ගෑනු ළමයෙක්‍ට ආදරය කළා. ඒ සම්බන්ධය කැඩුණා. ඊට පස්සේ යාපනේදීත් සිංහල ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. ඒකත් කාලයක් යද්දි නැති වුණා.
බලාගෙන යද්දී අර්චුනා වැඩිපුරම ආදරය කරලා තියෙන්නේ සිංහල ගෑනු ළමයින්ටනේ?
ඔව්. කොච්චර සිංහල ගෑනු ළමයින්ට ආදරය කළාද කියනවනම් අවසානයට මම විවාහ වුණෙත් සිංහල කෙනෙක් එක්කමයි. ඇයත් වෛද්‍යවරියක්. ඇය මට පහළ කණ්ඩායමේ කෙනෙක්. මේ වෙද්දි ආරක්ෂාව ගැන යම් යම් ප්‍රශ්න තියෙන නිසා මම බිරිඳගේ නම කියන්න කැමැති නැහැ. අපිට දැන් අවුරුදු එකොළහක පුතෙක් ඉන්නවා.
බිරිඳත් එක්ක පන්සලට එහෙමත් යන්න වෙනවා ඇතිනේ?
මම හින්දු ආගමිකයෙක්. ඒත් මම පන්සලටත් යනවා. පල්ලියටත් යනවා. කෝවිලටත් යනවා. බුදුනුත් වඳිනවා. දෙවියන්වත් වඳිනවා. බුද්ධාගම සහ හින්දු ආගම අතර ලොකු වෙනසක් තියෙනවා කියලා මට පේන්නෙ නැහැ. අනෙක මට ආගම ගැන ලොකු විශේෂයක් හෝ විශ්වාසයක් නැහැ. කවුරු හරි පන්සලට යනවා නම් කෝවිලට යනවා නම් මාත් යනවා. එහෙම නැතුව මම හිතලා උදේට නැගිටලා නාලා සුදු ඇඳලා ආගම අදහන්නම කියලා විශේෂයෙන් යන්නේ නෑ. ඉස්සර නම් විභාග පාස් වෙන්න ඕන නිසා කියලවත් ආගම ඇදහුවා. දැන් නම් එහෙම බලාපොරොත්තුවකුත් නෑ.
ඔබ දේශපාලනය කරනවට බිරිඳගේ අකැමැත්තක් නැද්ද?
මම දේශපාලනය කරනවට බිරිඳ ටිකක්වත් කැමැති නෑ. දේශපාලනයෙන් අයින් වෙලා ගෙදරට එන්න කියලා ඇය අදටත් කියනවා. ඒත් මිනිස්සු විශ්වාසය තියලා ඡන්දය දීලා අපිව පාර්ලිමේන්තුවට යැව්වානේ. දැන් මටවත් බිරිඳටවත් වුවමනා විදිහට වැඩ කරන්න බැහැ. එහෙම වැඩ කරනවා නම් ඡන්දය නොඉල්ලා ඉන්න තිබුණා. දැන් ඉතින් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න වෙනවා.
ඔබ කතාවට බොහොම දක්ෂයෙක්. ඒ දවස්වලත් එහෙමද ?
විශ්වවිද්‍යාල ඇතුළේ උස්සගන්නවත් බැරි තරම් බර පොත් පාඩම් කළ අපිට ඉතින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ටික ලියලා තියෙන පිටු හතළිහක පොත කට පාඩම් කරගෙන විවාදයක් කර ගන්න බැරිද? ඒවා මට නම් මහලොකු දේවල් නෙමෙයි.
භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද?
සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම කතා කරන්න පුළුවන්. සිංහල ලියන්න කියවන්න නම් බෑ.
කොහොමද සිංහල කතා කරන්න ඉගෙන ගත්තේ?
සිංහල කෙල්ලො පනහක් එක්ක විතර යාළුවෙලා හිටියා කියලා මම කිව්වේ. එතකොට සිංහල කතා කරන්න බැරි වෙයිද? (හිනාවෙමින්) තවමත් ඉතින් සිංහල කතා කරද්දි ටිකක් පැටලනවා. පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ "වැසිකිළි" ප්‍රශ්නයක් වුණා නේ. සිංහලවල සමාන වචන ගොඩක් තියෙනවා. දෙමළවල එහෙම අඩුයි. "කක්කුස්සිය" කියන එක අපිට තේරෙන්නේ නරක වචනයක් විදිහටයි. අධිකරණ අමාත්‍යවරයා ඒකට වැසිකිළිය කිව්වනම් ප්‍රශ්නේ ඉවරනේ.
තව සිංහල ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා නම් සිංහල ලියන්නත් ඉගෙන ගන්න තිබුණනේ?
එහෙම කරන්නත් තිබුණා තමයි. ඊට කලින් සිංහල කෙනෙක්වම බැඳගන්න වුණානේ.
මොනවද ඔබේ විනෝදාංශ?
දැන් ඉතින් සම්පූර්ණ කාලයම දේශපාලනයට යොදවලා තියෙන්නේ. යාපනයට යනවා කොළඹ එනවා. එහෙම තමයි ජීවිතේ ගෙවෙන්නේ.
ඊට අමතරව චිත්‍ර අඳිනවා. පොත්පත් කියවනවා. යාපනයේ ගෙදර තිබුණු පොත් පන්දාහක් විතර පුස්තකාලයකට දුන්නා. තව ටිකක් තියනවා. සිංහල සින්දු අහනවා.
මොකක්ද කැමැතිම සිංහල සින්දුව ?
"සෙංකඩවල නුවරට වහින වැස්ස" කියන සින්දුවටයි කැමැති. පේරාදෙණිය කැම්පස් කාලයේ සිංහල ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා මම කිව්වේ. ඒ සම්බන්ධය නැති වුණාට පස්සේ මම මේ සින්දුවට ගොඩක් කැමැති වුණා.
ඔහොම කිව්වාම බිරිඳට කේන්ති එන්නේ නැද්ද?
එයා ඒ හැමදේම දන්නවා. පාර්ලිමේන්තුවට ගිහිල්ලත් මම ඇත්ත කතා කරනව නම් නෝනට බොරු කරන්න හේතුවක් නෑනේ. ඇය මගේ විස්තර සේරම දන්නවා.
කවුද පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම යාළුවා?
බිමල් රත්නායක පවා හොඳම යාළුවෝ. ඒත් ඉතින් මම වැඩිපුරම හැප්පෙන්නෙත් ඔහුත් එක්කනේ. ඒ නිසා ඔහු වැඩිපුර මාත් එක්ක කතා කරන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ විපක්ෂ හැමෝම මගේ යාළුවෝ. හැමෝම මාත් එක්ක කතා කරනවා. "ටිකක් කට වහගෙන හිටපං බං. අපිට දරාගන්න බෑ" කියලා ආණ්ඩුවේ අය කියනවා. "මචං තවත් ටිකක් සැරට දීපන්" කියලා විපක්ෂය කියනවා. කැමරාවට පේන්න පාර්ලිමේන්තුවේදී වාද විවාද කළාට එළියට ආවාම හැමෝම යාළුයි. ඒගොල්ලෝ හැමෝම යාළුයි මල්ලි කියලා රන්ජන් රාමනායක කිව්ව කතාව හරියටම හරි. අපි දේශපාලනයට රණ්ඩු වුණාට පුද්ගලික තරහක් නෑ.
මගේ හොඳම යාළුවා නලින්ද ජයතිස්ස කිව්වත් වරදක් නෑ. මම එයාට අයියා කියලා කතා කරනවා. එයා මට මල්ලි කියලා කතා කරනවා. නලින්ද ජයතිස්ස කියන්නෙ පාර්ලිමේන්තුවේ වැදගත් විදිහට ඉන්න, දෙයක් කියලා තේරුම් කරන්න පුළුවන් හොඳම පුද්ගලයෙක්. බැනලා ගේම ඉල්ලලා තිබුණට මම එහෙම කෑගහන්නේ පුද්ගලික තරහකට නෙමෙයි කියලා නලින්ද අයියා දන්නවා.
නොදන්නා මන්ත්‍රිකමට වඩා දන්න දොස්තරකම කරගෙන හිටියානම් හොඳයි කියලා හිතුණේ නැද්ද?
එහෙම හිටියා නම් මම අද රෝහල් අධ්‍යක්ෂවරයෙක්. ඒත් පහුගිය ආණ්ඩුවේ සමහරු මගේ ඒ අවස්ථාව නැති කළා. මම කවදා හරි පාර්ලිමේන්තු ගිහින් පෙන්නන්නම් කියලා මම ඒ ආණ්ඩුවේ සමහරුන්ට අභියෝග කළා. එතකොට ඒ අය මට හිනා වුණා. අද ඒ හැමෝම ගෙදර. මම පාර්ලිමේන්තුවේ. අනෙක මේ ආණ්ඩුව නඩු දැම්මා කියලා මගේ ගමන නවත්වන්න බෑ. නෙල්සන් මැන්ඩෙලාට, චේ ගුවේරාට බාධා ආවා කියලා ඔවුන්ගේ ගමන නතර වුණේ නෑනේ. ඒ නිසා මට විරුද්ධව නඩු දාන එක ආණ්ඩුව මට කරන උදව්වක් හැටියටයි මම දකින්නේ.
