දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවෙන් ඉවත් කළ බුද්ධ ප්‍රතිමාව නැවත තැන්පත් කෙරේ.

lankaSFnews
0
දෙහිවල ගල්කිස්ස

 දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රිවරුන්ගේ විවේකාගාරයේ තිබූ බුද්ධ ප්‍රතිමාවක් එම පරිශ්‍රයෙන් ඉවත් කරලීමට එහි පාලනාධිකාරිය පසුගියදා කටයුතු කර තිබූ අතර බෞද්ධ භික්ෂුන් වහන්සේ පෙරටු කොටගත් පෙරහරකින් වඩමවාලූ එම ප්‍රතිමාව නොවැම්බර් 04 වෙනිදා නැවත එම ස්ථානයේම තැන්පත් කිරීම සිදුවිය.  මහ නගර සභාවෙන් ඉවත් කරනු ලැබූ එම ප්‍රතිමා වහන්සේ නැවත සොයා ගැනීමෙන් පසුව මෙසේ එම ප්‍රතිමාව නැවත මහ නගර සභා පරිශ්‍රයට වැඩම කරවීමට සිංහල සංවිධාන එකමුතුව ඇතුළු සිංහල සංවිධාන රැසක් කටයුතු යොදා තිබිණි. ඉවත් කළ බුද්ධ ප්‍රතිමාව සොයා ගත්තේ නගර සභා සේවකයකුගේ නිවෙසේ තිබී බව සිංහල සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක මහතා පවසයි.


බුද්ධ ප්‍රතිමාව රැගත් පෙරහර ඊයේ උදෑසන පිරිත් සජ්ඣායනා මධ්‍යයේ දෙහිවල ජයසිංහ ක්‍රීඩාංගණය අසල සිට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව වෙත ගමන් කළේය. නගර සභාව අභියසදී පිරිස NPP ආණ්ඩුවෙන් බුදු දහම බේරා ගනිමු, මාලිමාවේ නිරාගමිකයන්ට බෞද්ධ ප්‍රතිමා ඇලජික්ද ආදී වශයෙන් වන විරෝධතා පුවරුද ප්‍රදර්ශනය කළහ.


මෙහිදී දේශනාවක් කළ අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ නගර සභාවට තේරී පත්වූ අන්‍යාගමිකයාගේ හිත් රිදෙන බව කියමින් මන්ත්‍රිවරුන් දිනපතා වන්දනා මාන කිරීමට හුරු පුරුදු වී සිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ නගර සභාවෙන් ඉවත් කිරීමට නගරාධිපතිවරයා නියෝග කර ඇති බව දැනගන්නට ලැබී ඇතැයි පැවැසූ සේක. එම අවස්ථාවේ එහි පැමිණි නාගරික මන්ත්‍රිනි මරිනා ශාෆ්දීන් මහත්මිය බුද්ධ ප්‍රතිමා වහන්සේට පහන් දැල්වීම සඳහා පොල්තෙල් ලබාදීමට සිරිතක් ලෙස කටයුතු කර ඇති බවද උන්වහන්සේ පැවැසූ අතර බුද්ධ ප්‍රතිමාව හේතුවෙන් අන්‍යාගමිකයන්ගේ සිත් රිදෙනවා නම් එසේ සිදුවේදැයි ප්‍රශ්න කළේය. එම අවස්ථාවේ මරීනා ශාෆ්දීන් මන්ත්‍රිවරිය කියා සිටියේ එබඳු කිසිදු සිත් රිදීමක් ඇති නොවන බවත් ඒවා සියල්ල නගර සභා පාලක පක්ෂයේ බොරු බවත්ය.


මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රිවරුන් වන වෛද්‍ය චමල් සංජීව, උපුල් ගමගේ යන මන්ත්‍රිවරුන් ඇතුළු මන්ත්‍රි කණ්ඩායමක් විසින් බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙර තිබූ ස්ථානයට වැඩම කරවාගෙන ගොස් තැන්පත් කරන ලදී.


අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ, පාගොඩ ජනිතවංශ ස්වාමීන් වහන්සේ, වැල්ලම්පිටිය සුමනධම්ම ස්වාමීන් වහන්සේ, අම්බලන්ගොඩ ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ ප්‍රධාන භික්ෂුන් වහන්සේ රැසක්ද, සිංහල සංවිධානවල නියෝජිතයන් සහ ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top