කුරුණෑගල පාසල් සිසුවියන් 4 දෙනා අපයෝජනය කළ ගුරා මාරු

lankaSFnews
0

 කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනයේ දී සැකකාර ගුරුවරයා අතින් එම සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කළේය.


පාසලේ ආදි සිසුන් සහ මවුපියන් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මෙම විමර්ශනය පැවැත්වීය.


මේ සිද්ධියවී ඇතැයි පැවැසෙන්නේ 2023 වසරේ නොවැම්බර් මාසයේ දී ය.


මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවූ බවට මවුපියෝ පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට මෙයට පෙර පැමිණිලි කර සිටියහ.


ඒ අනුව ජාතික ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරිනී කාංචනා සුබසිංහ, දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරිනියන් වන චමීරා රාමනායක සහ ලක්මිණි ධර්මදාස යන මහත්මීහු මෙම විමර්ශනය කළහ.


විමර්ශන කණ්ඩායම අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියන්ගෙන්, ඔවුන්ගේ මවුපියන්ගෙන්, පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මියගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.


සැකකාර ගුරුවරයා අවස්ථා කීපයකදීම පාසල් කාල වේලාවේදී සිසුවියන් සිවුදෙනා අපයෝජනයට ලක් කර ඇති බව පැහැදිලිව ම අනාවරණයවී ඇතැයි විමර්ශන වාර්තාවේ දැක්වේ.


මෙම ගුරුවරයා සේවය කරමින් සිටින පාසලේ රාජකාරි සඳහා වාර්තා කර නැති බව ද ඔහු සිටින තැනක් හෝ සොයා ගැනීමට නොහැකිවී ඇති බවද වාර්තා වේ.


නොදන්වා සේවයට නොපැමිණීම හේතුවෙන් සැකකාර ගුරුවරයාගේ සේවය අත්හිටුවා ඇති අතර, පාසලේ විදුහල්පතිවරයා ද මෙම ගුරුවරයා සම්බන්ධයෙන් වාර්තාවක් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයට බාරදී ඇතැයි වාර්තා වේ.


අවිවාහක 56 වැනි වියෙහි පසුවන මෙම ගුරුවරයාට එරෙහිව මීට පෙර වැල්ලව ප්‍රදේශයේ පාසලකින් ද මෙවැනිම අපයෝජන චෝදනාවක් එල්ලවී තිබූ බවට කියති.


එම චෝදනාව සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.


-ලංකාදීප

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top