අටපිරිකර සඳහා නිශ්චිත ප්‍රමිතියක් තීරණය කෙරේ

lankaSFnews
0
atapirikara sri lanka

 වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති අටපිරිකර සඳහා නිශ්චිත ප්‍රමිතියක් හඳුන්වා දීමටත්, ඒවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ නියාමනය කිරීමටත් බුද්ධ ශාසන සභාව විසින් තීරණය කර තිබේ. බෞද්ධ ජනතාවට විනයානුකූලව අටපිරිකර මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින්, මෙම නියාමන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික අධිකාරියේ ද සහාය ඇතිව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.


මෙම නව වැඩපිළිවෙළට අනුව, දැනට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන 'සොළොස් පිරිකර' තහනම් කිරීමට පියවර ගැනෙනු ඇත. ඊට අමතරව, වටාපත්වල පබළු ඇල්ලීම වැනි නුසුදුසු අංග සහිත පූජා භාණ්ඩ වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට ද බුද්ධ ශාසන සභාව තීරණය කර තිබේ.


අටපිරිකර ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය හරහා ඉදිරියේදී වෙළෙඳපොළ වැටලීම් සිදු කිරීමට සැලසුම් කර ඇත. එම වැටලීම් සහ නියාමන කටයුතු වඩාත් සාර්ථක කර ගැනීම උදෙසා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ බෞද්ධ කටයුතු සමායෝජක වැනි නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.


බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී විෂයභාර අමාත්‍යවරයාගේ සහ සියලුම නිකාය පාර්ශ්වයන්හි ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් මෑතකදී පැවති බුද්ධ ශාසන සභා රැස්වීමකදී මෙම තීරණවලට එළඹ තිබේ. අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර මහා නිකායේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය බැරගම විමලතිස්ස නාහිමියන් විසින් මේ බව තහවුරු කරනු ලැබීය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top