ISIS අලුත්ම ත්‍රස්ත නායකයා සෝමාලියාවේ අබ්දුල් කාදර් මුමීන්

lankaSFnews
0
isis leader abdul kadar mumin


 ඉස්ලාම් ආගමේ කුරානයේ ඇති අන්තවාදී වදන් ක්‍රියාත්මක කරන ඉරාක සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) සංවිධානයේ නව ගෝලීය නායකයා ලෙස අබ්දුල් කාදර් මුමින් හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසනවා.


ඔහු ISIS සටන්කාමීන්ගේ ගෝලීය ජාලය මෙහෙයවන්නේ සෝමාලියාවේ කඳුකර ප්‍රදේශයක සිටයි.


මුමින්ව මෙම කණ්ඩායමේ නව ප්‍රධානියා ලෙස හඳුන්වා දී ඇත්තේ ඇමරිකානු නිලධාරීන් විසින්.


අමෙරිකාවේ අප්‍රිකානු අණදෙන නිලධාරි, ජෙනරාල් මයිකල් ලැන්ග්ලි අප්‍රේල් මාසයේදී අමෙරිකාවේ ව්‍යවස්ථාදායක සභාවට ප්‍රකාශ කළේ ‘ISIS ඔවුන්ගේ ගෝලීය ජාලය සෝමාලියාවේ සිට පාලනය කරන’ බවයි.


මුමින් උපත ලබා ඇත්තේ 1950 ගණන්වල මුල් භාගයේදී සෝමාලියාවේ පුන්ට්ලන්ඩ්හිදී යි.


ඔහු ස්වීඩනයේ සංක්‍රමණිකයෙකු ලෙස රැකවරණ ලබාගත් නමුත්, තමාගේම දියණියගේ ලිංගික අවයව විකෘති කරන බවට මුමින් විසින්, රහසේ ක්‍රියාකළ මාධ්‍යවේදියකුට අනාවරණය කිරීමෙන් පසුව ස්වීඩනයෙන් ඔහුට නෙරපීමට බලකෙරුණා. අප්‍රිකානු සංස්කෘතියේ ඇතැම් කණ්ඩායම් අතර, හිංසාකාරී කාන්තා ලිංගික අවයව චර්මඡේදන ක්‍රියාවලියක් ඇති බව සඳහන් වනවා.


පසුව එංගලන්තයට සංක්‍රමණය වූ ඔහු වසර ගණනාවක් තිස්සේ බ්‍රිතාන්‍ය මුස්ලිම් පල්ලිවල අන්තවාදය දේශනා කර තිබුණා.


ඔහු බ්‍රිතාන්‍ය මුස්ලිම් පල්ලිවල දශකයක පමණ කාලයක් සේවය කළ අතර, එහිදී ඔහු සෝමාලියාවට තරුණ බ්‍රිතාන්‍යයන් දුසිම් ගණනක් බඳවා ගැනීමේ ජාලයක කොටසක් බවට පත්වූ බව සඳහන්.


මුමින් 2010 දී එක්සත් රාජධානියෙන් පලා ගොස් සෝමාලියාවට පැමිණ, පසුව 2015 ඔක්තෝම්බර් මාසයේදී ISIS වෙත සිය පක්ෂපාතීත්වය ප්‍රකාශ කළා.


මුලදී සටන්කාමීන් දෙදෙනෙකුට පමණ සිටියද ඔහු 2024 අවසානය වන විට තම බලකාය 30 සිට දළ වශයෙන් 1,200 දක්වා පුළුල් කිරීම කැපී පෙනුණා.


ISIS සෝමාලියාව ගෝලීය ජාලයේ මුදල් මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන බව විශ්වාස කෙරෙනවා.


මෙම කණ්ඩායම, 2021 දී කාබුල් ගුවන් තොටුපළේ සිදු වූ ද්විත්ව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැනි ගෝලීය ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට මුදල් සැපයූ බවටයි සැලකෙන්නේ.


එම ප්‍රහාරවලින් ඇෆ්ගන් ජාතිකයින් 169 දෙනෙකු සහ අමෙරිකානු හමුදා භටයින් 13 දෙනෙකු මිය ගියා.


පුන්ට්ලන්ඩ්හි අර්ධ ස්වයං පාලන කලාපයේ දුරස්ථ කල් මිස්කාඩ් කඳුකරයේ සැඟවී සිටින මුමින්ට එරෙහිව පුන්ට්ලන්ඩ් බලකායන් සහ අමෙරිකානු නිලධාරීන් සටන් ආරම්භ කළා.


ඇමරිකානු ගුවන් ප්‍රහාරවල සහාය ඇතිව වසරකට ආසන්න තීව්‍ර ගැටුමකින් පසු මුමින්ගේ බලකායන් දැඩි ලෙස දුර්වල වී තිබෙනවා.


නොවැම්බර් 25 දින, ඇමරිකානු විශේෂ බලකා භටයන් 200 ක් පමණ පුන්ට්ලන්ඩ් ත්‍රස්ත විරෝධී ඒකක සමඟ සම්බන්ධීකරණයෙන් මුමින්ගේ බලකොටුව ඉලක්ක කර ගනිමින් වැටලීමක් ක්‍රියාත්මක කළා.


මූලික තක්සේරුවලින් පෙනීයන්නේ ජ්‍යෙෂ්ඨ ISIS අණදෙන නිලධාරියෙකු සහ සිරියාව, තුර්කිය සහ ඉතියෝපියාවේ සටන්කාමීන් 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් මෙම ප්‍රහාරයෙන් මිය ගිය බවයි.


පෙබරවාරි මාසයේදී පුන්ට්ලන්ඩ් බලකායන් විසින් වැදගත් ISIS කඳවුරක් අත්පත් කර ගත් අතර, එහිදී මිසයිල දෙදහසක් භාරයට ගෙන තිබුණා.


ISIS සටන්කාමීන් විවිධ ජාතීන් 30 කට වැඩි සංඛ්‍යාවකින් පැමිණ තිබෙන බව සඳහන්.


පුන්ට්ලන්ඩ් බුද්ධි අංශ ඇස්තමේන්තු කරන්නේ කල් මිස්කාඩ්හි ඉතිරිව ඇත්තේ සටන්කාමීන් 200 ක් පමණක් බවයි.


මුලින් සටන්කාමීන් 1,200 ට අමතරව සිටි කාන්තාවන් සහ ළමයින් 800 දෙනා අතරින් ද වසරකට ආසන්න ගැටුමකින් පසු ඉතිරිව ඇත්තේ 80 ක් පමණක් බව විශ්වාස කෙරෙනවා.


සටන්කාමීන් ජීවත් වන්නේ පක්ෂීන්, පැලෑටි, සහ වල් පැලෑටි ආහාරයට ගනිමින් බවත්, ඔවුන්ගේ සැපයුම් අවසන් වී ඇති බවත් වාර්තා වනවා.


මෙම ගැටුමේ නිරත නිලධාරියෙකු වන කපිතාන් ඕමාර් යූසුෆ් මොහොමඩ්ට අනුව, මුමින් යනු ඔවුන්ගේ දේශයට පැමිණ වෛරය පැතිරවූ වෛරසයක් වැනි අයෙක්.‍


ඔහු දැනට ගුහා තුළ සැඟවී සිටින අතර, අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා ලිඛිත පණිවිඩ මගින් පමණක් සන්නිවේදනය කරන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

source 1,2,

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top