ලංකාවෙ දරුවන්ගෙන් තුනෙන් එකකට තීව්‍ර මන්දපෝෂණය

lankaSFnews
0

 මෙරට දරුවන්ගෙන් තුනෙන් එකක් තීව්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්වන බව සමගි ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ඊයේ (04දා) පැවසුවාය.


මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ ළමා මන්දපෝෂණ තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. එහිදී ඇය මෙසේද සඳහන් කළාය.


මේ වාර්තාව සකස් කිරීමට හේතු වුණේ මන්දපෝෂණයට අදාළව යුනිසෙෆ් සංවිධානය සකස් කළ වාර්තාවක් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතික්ෂේප කිරීමයි. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කාරක සභාවක් පත් කරන ලෙස අප කළ ඉල්ලීම කථානායකතුමා පිළිගත්තා. ඒ අනුවයි මේ වාර්තාව සකස් කළේ.


මේක නිකම්ම නිකං වාර්තාවක් නෙමෙයි. මේ වාර්තාව පැත්තක තියන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. අපේ රටේ දරුවන්ගෙන් තුනෙන් එකක් තීව්‍ර මන්දපෝෂණ ලක්ෂණ පෙන්වන බව මේ වාර්තාවේ සඳහන් කෙරෙනවා. ඊට එක හේතුවක් තමයි ආහාර සුරක්ෂිතතාව නොමැතිකම. ඒ කියන්නෙ පෝෂණීය ආහාර ලබා ගැනීමට නොහැකි වීමයි.


අනාගතයේ ඉතිරි වෙන්නේ පාණ්ඩුව තියෙන ජාතියක්. වතුකරය ගැනත් විශේෂයෙන් මේ වාර්තාවේ සඳහන් වෙනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් දරුවන් සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිපත්තිය කියන්න.


අප මේ වාර්තාවේ කෙටි, මධ්‍යම හා දිගු කාලීන යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මන්දපෝෂණ ලක්ෂණ පෙන්වන තුනෙන් එකක් වන දරුවන් බේරා ගැනීමට අවශ්‍ය වාර්තාවක් සකස් කිරීමට අවස්ථාව ලබාදුන් කථානායකතුමාටත් ස්තුතිවන්ත වෙනවා.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel
To Top