
අන්තර්ජාලයේ ඇති යෙදවුමක් යොදාගනිමින් සමලිංගික පුද්ගලයින් ඇසුරට ඇල්මක් දක්වන් පුද්ගලයින් කූට ආකාරයෙන් පොළඹවා ගනිමින් ඔවුන්ගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයින් තිදෙනෙකු ගල්කිස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අන්තර්ජාලයේ ඇති මෙම යෙදවුම සමඟ එක්වන සමලිංගික පුද්ගලයින් සමඟ මෙම ජාවාරමේ නිරතවන කණ්ඩායමේ පුද්ගලයෙකු සැක නොසිතන ලෙස සුහදව කතබහකොට එම පුද්ගලයින්ව සොයිසාපුර මහල් නිවාසයක පෞද්ගලික නිවසකට රැගෙන ගොස් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි.
මෙම අන්තර්ජාල යෙදවුම මඟින් කොල්ලකරුවන්ට හසුවූ වයස අවුරුදු 28ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භකර ඇති පොලිසිය වයස අවුරුදු 17, 20 සහ 39 යන වයස් මට්ටම්වල සිටින බොරුපන සහ සොයිසාපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත්තේ මෙසේ මෙම කණ්ඩායමේ පුද්ගලයෙකු තමාව ඔවුන්ගේ සොයිසාපුර මහල් නිවාසයක පිහිටි නිවසකට ගෙන්වා ගැනීමෙන් පසුව එම යෙදවුම මඟින් කතාබහ කළ පුද්ගලයා සමඟ ලිංගිකව හැසිරීමට කටයුතු කරන බවයි.
පසුව මඳ වේලාවකින් තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ එහි ලිංගිකව හැසිරෙන ඔවුන්ට බැණ වැදී පහර දෙන ආකාරයට හැසිරී ඔවුන්ගේ සහෝදරයා බලහත්කාරයෙන් පොළඹවා ගෙන ඔහු සමඟ ලිංගිකව හැසිරෙන බව පවසා පැමිණිලිකරුට තර්ජනය කර ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
පසුව අදාළ සමරිසි පුද්ගලයාගේ නිරුවත් ජායාරූප ගෙන තර්ජනය කොට අන්තර්ජාලයට මුදාහරින බව පවසා එසේ නොකර සිටීමට නම් මුදල් දෙන ලෙස තර්ජනය කර ඇති අතර, පැමිණිලිකරුගේ බැංකු කාඩ්පත රැගෙන ගොස් රුපියල් 103,000 මුදලක් කොල්ලකා ඇති බවයි පොලිසිය පැවසුවේ.