ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ මරණයට හේතුව හෘදයාබාධයක්

lankaSFnews
0
chandrasiri bandara


 ප්‍රවීන ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා  අද ( 22) උදෑසන අභාවප්‍රාප්ත වූ අතර එම මරණයට හේතුව හෘදයාබාධයක් බව වාර්තා වනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාත වී තිබුණි.

 

මිය යනවිට ඒ් මහතා 63 වැනි වියේ පසුවුණා.

මහින්ද රාජපක්ෂ 2015 නැවත ජනපති පදවියට පත්වන බවත් එසේ නොවුණොත් තමා වෙඩි තබාගන්නා බවටත් දිවුරා අනාවැකි පළ කිරීම නිසා චන්ද්‍රසිරි බණ්ඩාර ආන්දෝලනයක් ඇති කළ ජ්‍යොතිෂ්‍යවේදියෙකි. පසුකලෙක ඔහුගේ අනාවැකි විවිධ විවේචනයන්ටද බදුන් විය.


ජ්‍යොතිෂය වැඩසටහනක් සදහා උදෑසන හතට සහභාගිවීමට නියමිතව  තිබූ නිසා අළුයම 5.45 පමණ කොළ කැඳ පානයක් රැගෙන සැමියා නිදා සිටි කාමරයට ගොස්  අවදි කළත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වෛද්‍යවරු පැවසුවේ යැයි ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ බිරිද වන හිනිදුම ලියනගේ චම්පිකා (59) මහත්මිය පැවසුවාය.


ඇය මේ බව කියා සිටියේ තලවතුගොඩ හෝකන්දර පාරේ සමගිමාවත , රොම්ස් ලැන්ඩ් හි  අංක 424 / 01 නිවසේ පදිංචි හේරත් මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර වන මියගිය තම සැමියාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබා දෙමිනි.


මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.ඇල්.ඇම්. සේනානායක මහතා විසින් සිදුකළ අතර මෘත දේහය පිළිබඳ  හදිසි මරණ පරීක්ෂණය තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය විසින් (23) දා සිදු කළාය.


එහිදී  තවදුරටත්   සාක්ෂි ලබා දෙමින් එච්.එල් චම්පිකා මහත්මිය මෙසේද  කීවාය.


මේ මියගොස් සිටින්නේ මගේ සැමියා. අපි විවාහ වෙලා දැනට අවුරුදු තිස් හයක්. අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව ලංකාවේ පුතා ඕස්ට්‍රේලියාවේ.


මගේ සැමියාට වසර පහක පමණ සිට අධික රුධිර පීඩනය  තිබුණා. ඒ සඳහා පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් තාවකාලිකව ප්‍රතිකාර ගත්තා. ඒත් ස්ථිරවම ප්‍රතිකාර ගන්න ගියේ නෑ.මහත්තය බෙහෙත් බොන්න ටිකක් කම්මැලියි. මගෙ සැමිය මස් මාළු කන්නේත් නෑ.


එදා 22 දා උදේ 07 පමණ ජ්‍යෝතිෂය වැඩසටහනකොට සහභාගී වීමට තිබෙනවා කියලා කලින් දවසෙ මට කිව්ව නිසා පසුදෑ උදෑසන හතරට අවදි වී කොල කැඳ පානයක් සකසා අළුයම 5.45 පමණ මහත්තයා නිදාසිටි කාමරයට ගොස් ඔහුව අවදි කිරීමට උත්සාහ කළා. නමුත් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවෙ නෑ. කොතරම් සෙලවුවත් අවදි වුණේ නෑ.


මට ටිකක් බය හිතුනා . පසුව මම දුරකථනයෙන් දුවට දැනුම් දුන්නට පස්සේ දුව ක්ෂණිකව ගිලන් රථයක් එව්වා. පසුව සැමියව රැගෙන  තලවතුගොඩ හේමාස් රෝහලට ගියා. එහිදී වෛද්‍යවරුන් පැවසුවේ සැමියා මියගොස් ඇති බවයි.


මහත්තයාගේ මරණය පිළිබඳ මට සැකයක් නැහැ.යැයි සාක්ෂි දෙමින් කීවාය.


මියගිය චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ එකම දියණිය වන හේරත් මුදියන්සේලාගේ සමාධි ලංකා බණ්ඩාර (34) මහත්මිය සාක්ෂි දෙමින් මෙසේ කීවාය.


මේ මියගොස් සිටින්නේ මගේ පියා. විවාහයෙන් පසුව අපි වෙනම ජීවත් වෙන්නේ. පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරියක් ලෙස මම සේවය කරනවා. මගේ සහෝදරය රැකියාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර.


සිද්ධිය වූ දා අම්ම මට දුරකථනයෙන් කතා කරලා කිව්ව තාත්තාට කැඳ ටික අරගෙන කාමරයට ආව කතා කළා කතා කළා තාත්තා නැගිටින්නෙ නෑනේ කියලා. ඊට පස්සේ මම අම්මට කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්නේ මම ගිලන් රථයක් එවන්නම් කියලා. ඒ පාර අම්ම නිවස අසල තවත් කිහිපදෙනකු සමඟ තාත්තව තලවතෙකුට හේමාස් රෝහලට රැගෙන ගිහින් තිබුණා. ඉන් ටික වේලාවකට පසුව මමත් රෝහලට ගියා.


ඒ යන විටත් වෛද්‍යවරුන් අම්මට කියලා තිබුණේ තාත්තා මිය ගිහිල්ලා කියලා.. යැයි සාක්ෂි දෙමින් කීවාය.


ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව අභාවප්‍රාප්ත ප්‍රවීණ ජ්‍යෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය නිගමනය කළාය


සිද්ධිය සම්බන්ධයෙන් මාළඹේ පොලිසියේ පොලිස් කොස්තාපල් (23034) වේරංග නිලධාරීහු පරීක්ෂණ මෙහෙවූහ.

Tags

Post a Comment

0 Comments

#buttons=(Ok, Go it!) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Ok, Go it!
To Top